4. මෙත්තගූ මාණව පෘච්ඡා
4-1. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි:) භාග්යවතුන් වහන්ස, මුඹ වහන්සේ විචාරමි. වදාළ මැනවි. මුඹ වහන්සේ ඥාන - වේදයාගේ පරතෙරට පැමිණි කෙනකුන් කොට වැඩූ සිත් ඇති කෙනකුන් කොට හඟිමි. ලොවැ අනේක ස්වභාව වූ යම් කිසි දුක් කෙනෙක් වෙත් ද, මේ දුඃඛයෝ කොයින් උපන්නාහු ද?
4-2. (බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) ජාත්යාදි දුකට කාරණය (තෙපි) මා විචාරව, එය ප්රත්යක්ෂ කොට දැනගත්තකු සෙයින් තොපට ප්රකාශ කරම්හ. ලොවැ අනෙක ස්වරූප වූ යම් දුක් කෙනෙක් ඇද්ද එ හැම දුඃඛයෝ (තෘෂ්ණාදී) උපධි හේතුයෙන් උපදනාහ.
4-3. අපණ්ඩිත වූ යමෙක් (තෘෂ්ණාදි) උපධිය කෙරේ ද, අඥාන වූ හෙතෙම පුනපුනා සසර දුකට පැමිණෙයි. එහෙයින් (සංස්කාරයන් අනිත්යාදි විසින්) දන්නේ සසරදුක ජාතිය ප්රභව කොට ඇතැ’යි දක්නේ (තෘෂ්ණාදි) උපධිය නො කරන්නේ යි.
4-4. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි:) ඇපි යමක් විචාළමෝ ද එය මුඹ වහන්සේ අපට වදාළ සේක. අන් කරුණකුදු මුඹ වහන්සේ විචාරම්හ, එය දැන් වදාළ මැනැව, නුවණැත්තෝ (කාමාදි චතුර්විධ) ඕඝයත්, ජාති, ජරා, ශෝක, පරිදේව දුකත් කෙසේ ඉක්මවත් ද? සර්වඥ මුනිවූ මුඹ වහන්සේ අයදිමි. එය මට විසඳා වදාළ මැනැව. යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම (සත්ත්වයන් විසින් අවබෝධ කරන සේ පැනවීම් වශයෙන්) දන්නා ලද ද එහෙයිනි.
4-5. (බුදුහු මෙසේ වදාළහ: “මෙත්තගූ මාණවකය,) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නාලද දුඃඛාදි ධර්මයෙහි නොහොත් මෙ අත්බැව්හි මැ ආත්ම ප්රත්යක්ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්වාණධර්මය ද (නිර්වාණගාමිනී ප්රතිපද්ධර්මය ද) තොපට ප්රකාශ කරන්නෙමි”යි.
4-6. මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා)ව තරණය කරන්නේ නම්, මම මුඹ වහන්සේ ගේ ඒ (ධර්මද්යොතක) වචනය ද රුස්මි, උත්තම වූ ඒ ධර්මය ද රුස්මි.
4-7. (බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය, අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්තමාන කාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්මජාතයක් තෙපි දන්නවු නම් තෙල උද්ධාදි ධර්මයෙහි තෘෂ්ණාව ද දෘෂ්ටිනිවේසනය ද අභිසංස්කාර විඥානය ද දුරු කරව, දුරු කොට (දෙවැදෑරුම්) භවයෙහි නො සිටිනේ යි.
4-8. මෙසේ වාසය කරනසුලු ස්මෘතිමත් වූ අප්රමත්ත වූ මහණ තෙම මමත්වයන් හැරපියා හැසිරෙනුයේ විද්වත් වූයේ මෙ සස්නෙහි මැ නොහොත්, මෙ අත්බව්හි මැ ජාතිය ද ජරාව ද සෝක-පරිදේව දුක ද දුරැලන්නේ යි.
4-9. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි:) මහර්ෂි වූ මුඹ වහන්සේ ගේ තෙල වචනය පිළිගතිමි. ගෞතමයන් වහන්ස, (මුඹ වහන්සේ විසින් නිරුපධි වූ නිර්වාණය මොනොවට ප්රකාශ කරනලද. යම් හෙයින් බුදුහු ඒකාන්තයෙන් වෘත්තදුඃඛය දුරැලූහු ද එහෙයින් මැ මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නාලද.
4-10. මුනි වූ සර්වඥයන් වහන්ස, මුඹ වහන්සේ යම් කෙනකුන්ට සකසා (හැම කල්හි හෝ) ඔවා දෙන සේක් ද, ඔහුදු දුක් දුරැලන්නාහ’යි හඟිමි. බුද්ධනාගයන් වහන්ස, එහෙයින් එළඹ මුඹ වහන්සේ නමදිමි. භාග්යවතුන් වහන්සේ මට එක්වන් අවවාද කරන්නාහු නම් මැනැව.
4-11. (බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) තෙපි බාහිතපාපී බ්රාහ්මණ වූ යමක්හු මාර්ග ඥානයෙන් නිවනට පැමිණියකු කොට (රාගාදි) කිඤ්චන රහිතයකු කොට කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණාක්හු කොට දන්නවු ද, ඒකාන්තයෙන් හෙතෙම මේ (කාමාදි) චතුරෝඝය තරණය කෙළේ යැ. ඕඝතරණය කළා වූ ද (රාගාදි) ඛිල රහිත වූ (දුඃඛාදියෙහි) කාංක්ෂා රහිත වූ හෙතෙම නිර්වාණපාරයට ගියේ ය.
4-12. තවද මෙ සස්නෙහි (ආත්මභවයෙහි හෝ) විද්වත් වූ ඥාන වේදයෙන් නිවනට පැමිණි යම් සත්ත්වයෙක් කුදුමහත් භවයෙහි මේ (රාගාදි) සඞ්ගය දුරැලා සිටියේ ද විගත තෘෂ්ණා ඇති හෙතෙම අනුපද්රව වූයේ ආශා රහිත වූයේ වෙයි. හෙතෙම ජාති ජරා (මරණය) තරණය කෙළේ යයි කියමි.
මෙත්තගූ මාණවක පෘච්ඡා නිමි.