15. මෝඝරාජ මාණව පෘච්ඡා
15-1. (ආයුෂ්මත් මෝඝරාජ මෙසේ විචාරයි:) මම් දෙවරක් ශක්‍ය මුනිහු විචාළෙමි. චක්‍ෂුෂ්මත්හු ප්‍රකාශ නො කළහ. දෙවර්ෂීහු තුන්වනවට දක්වා විචාරනලද්දාහු ප්‍රකාශ කරන සේකැ යි මා විසින් අසනලද.
15-2. මේ මිනිස්ලෝවැසි ද අන් ලෝවැසි ද දෙවියන් සහිත වූ බඹලෝවැසි ද යශස්වී වූ ගෞතමගෝත්‍ර ඇති මුඹ වහන්සේ ගේ දෘෂ්ටිය නො දනිත්.
15-3. මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් කරා පැන පුළුවුස්නෙන් අර්ත්‍ථී වැ ආයෙමි, මෘත්‍යුරාජ ලොව කිසෙයින් බලන්නහු නො දකී ද?
15-4. මෝඝරාජය, හැම කල්හි ස්මෘතිමත් වැ සත්කායදෘෂ්ටිය දුරු කොට ලොව ශුන්‍ය තා විසින් බලව, මෙසෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි, මෙසෙයින් ලොව බලන්නහු මෘත්‍යුරාජ නො දක්නේ යි.
මෝඝරාජ මාණව පෘච්ඡා නිමි.
16. පිඞ්ගිය මාණව පෘච්ඡා
16-1. (ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි:) මම් ජීර්‍ණයෙමි, දුර්‍වලයෙමි, විවර්ණයෙමි, (මාගේ) නේත්‍රයෝ ශුද්ධ නො වෙති. ශ්‍රවණය පහසු නො වෙයි. මම් (මුඹ වහන්සේ ගේ දහම් පසක් නො කොට) අතුරෙහි මැ මුළා වූයෙම් නහමක් නැසෙම්වා, මේ පහණ සෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාව ගේ ප්‍රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
16-2. (බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) රූපනිමිතින් නැසෙනවුන් දැක (කුශල ධර්‍මයෙහි) ප්‍රමත්ත ජනයෝ රූපනිමිතින් පෙළෙති. එහෙයින් පිඞ්ගිය, තෙපි (කුශලධර්‍මයෙහි) අප්‍රමත්ත වැ පුනර්‍භවය නො වනු පිණිස රූපය දුරු කරව.