16. පිඞ්ගිය මාණව පෘච්ඡා
16-1. (ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි:) මම් ජීර්ණයෙමි, දුර්වලයෙමි, විවර්ණයෙමි, (මාගේ) නේත්රයෝ ශුද්ධ නො වෙති. ශ්රවණය පහසු නො වෙයි. මම් (මුඹ වහන්සේ ගේ දහම් පසක් නො කොට) අතුරෙහි මැ මුළා වූයෙම් නහමක් නැසෙම්වා, මේ පහණ සෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාව ගේ ප්රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
16-2. (බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) රූපනිමිතින් නැසෙනවුන් දැක (කුශල ධර්මයෙහි) ප්රමත්ත ජනයෝ රූපනිමිතින් පෙළෙති. එහෙයින් පිඞ්ගිය, තෙපි (කුශලධර්මයෙහි) අප්රමත්ත වැ පුනර්භවය නො වනු පිණිස රූපය දුරු කරව.
16-3. සතර දිග යැ සතර අනුදිග යැ උඩ යැ යට යැ යන මේ දසදික් කෙනෙක් වෙත් ද, ලොවැ මෙ හැම තන්හි මුඹවහන්සේ විසින් නො දක්නා ලද නො අසන ලද ආඝ්රාණ ස්වාදන ස්පර්ශන නො කරන ලද යළි නො දන්නා ලද කිසිවක් නැති. මේ පහණසෑවෙහෙරෙහි දී මැ ජාතිජරාවගේ ප්රහාණය වූ යම් (නිර්වාණ) දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
16-4. (බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය, යම් හෙයෙකින් තෙපි) තෘෂ්ණායෙහි ගැලී සිටි සත්ත්වයන් හටගත් සිත්තැවුලි ඇතියන් ජරායෙන් මඩන ලද්දවුන් වැ දක්න වු ද, එහෙයින් පිඞ්ගිය තෙපි අප්රමත්ත වැ පුනර්භවය නොවනු පිණිස තෘෂ්ණාව දුරු කරවයි.
පිඞ්ගිය මාණව පෘච්ඡා නිමි.
භාග්යවතුන් වහන්සේ මගධරටැ පහණසෑ නම් වෙහෙරෙහි වැඩවසනසේක් (බාවරී තවුසන්ගේ) පරිවාරක (පිඞ්ගිය) හා සමඟ සොළොස් බමුණන් විසින් අයදනා ලදහු පුන පුනා පුළුවුස්නා ලදහු, පැන විසඳුසේක. ඉදින් යමෙක් එකෙකි පැනයෙකැ පෙළ ඇරුත් දැන පෙළදහම් දැන ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි පිළිපදනේ නම් හේ ජරාමරණයා ගේ පරතෙරට යන්නේ මැ යැ. යම් හෙයෙකින් මේ ධර්මයෝ (නිර්වාණ) පාරගමනාර්හ වෙත් ද එහෙයින් මේ ධර්මපර්ය්යාය ‘පාරායණ’යි මැ නම් වී.
1. අජිත යැ තිස්සමෙත්තෙය්ය යැ පුණ්ණක යැ යළි මෙත්තගූ ය ධෝතක යැ උපසීව යැ නන්ද යැ යළි හේමක යැ,
2. තෝදෙය්ය-කප්ප දෙදෙනා යැ පණ්ඩිත වූ ජතුකණ්ණී යැ භද්රාවුධ යැ උදය යැ පෝසාල බ්රාහ්මණ යැ නුවණැති මෝඝරාජ යැ මහර්ෂී වූ පිඞ්ගිය යැ යන-
3. මොහු සමෘද්ධ වූ පසළොස් චරණධර්ම ඇති ඍෂි වූ බුදුන් කරා පැමිණියහ, සියුම් ප්රශ්නයන් පුළුවුස්නාහු බුද්ධශ්රේෂ්ඨයන් කරා පැමිණියාහ.
4. පැන පුළුවුස්නා ලද බුදුහු ඔවුනට ඇතිසැටියෙන් ප්රකාශ කළහ, සර්වඥමුනීහු පැන විසඳීමෙන් බමුණන් තුටු කළහ.