14. පෝසාල මාණව පෘච්ඡා
14-1. (ආයුෂ්මත් පෝසාල මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ සිඳුනාලද සැක ඇති යම් සර්‍වඥ කෙනෙක් ස්වකීය වූ ද පරකීය වූ ද අතීතය (පූර්‍වනිවාසානුස්මෘතිඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්‍මයන් ගේ පරතෙරට ගිය ඒ සර්‍වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි.
14-2. ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, ඉක්මවන ලද රූපසංඥා ඇති තදඞ්ගවිෂ්කම්භණ විසින් සියලු රූපකාය ප්‍රහාණය කරන සුලු වූ අධ්‍යාත්මයෙහිද බාහ්‍යයෙහිද කිසිවක් නැතැයි දක්නහු (ආකිඤ්චඤ්ඤායතනලාභීහුගේ ඥානය) පුළුවුස්මි. එබඳු වූ පුද්ගල තෙම කිසෙයින් (මත්තෙහි ඥානයට) පැමිණවිය යුත්තේ ද?
14-3. (බුදුහු මෙසේ වදාළහ: පොසාලය,) හැම විඥානස්ථිතීන් වෙසෙසින් දන්නා වූ තථාගත තෙමේ ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ත වූ එය පරායණ කොට ඇති වැ සිටුනා මේ පුඟුලා දනී.
14-4. ආකිඤ්චඤ්ඤායතනයෙහි උපදවන අරූපරාග සඞ්ඛ්‍යාත නන්‍දිය “සංයෝජනයෙකැ”යි දැන තෙල මෙසේ ම විශිෂ්ටඥානයෙන් දැන ඉක්බිති එහි (අනිත්‍යාදි විසින්) විදර්‍ශනා කෙරෙයි. වැස නිමවූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යවාස ඇති බාහිතපාපී වූ ඒ රහත්හු ගේ තෙල අර්හත්මාර්‍ගඥානය ද විපරීත වේ යයි.
පෝසාල මාණව පෘච්ඡා නිමි.
15. මෝඝරාජ මාණව පෘච්ඡා
15-1. (ආයුෂ්මත් මෝඝරාජ මෙසේ විචාරයි:) මම් දෙවරක් ශක්‍ය මුනිහු විචාළෙමි. චක්‍ෂුෂ්මත්හු ප්‍රකාශ නො කළහ. දෙවර්ෂීහු තුන්වනවට දක්වා විචාරනලද්දාහු ප්‍රකාශ කරන සේකැ යි මා විසින් අසනලද.
15-2. මේ මිනිස්ලෝවැසි ද අන් ලෝවැසි ද දෙවියන් සහිත වූ බඹලෝවැසි ද යශස්වී වූ ගෞතමගෝත්‍ර ඇති මුඹ වහන්සේ ගේ දෘෂ්ටිය නො දනිත්.
15-3. මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් කරා පැන පුළුවුස්නෙන් අර්ත්‍ථී වැ ආයෙමි, මෘත්‍යුරාජ ලොව කිසෙයින් බලන්නහු නො දකී ද?
15-4. මෝඝරාජය, හැම කල්හි ස්මෘතිමත් වැ සත්කායදෘෂ්ටිය දුරු කොට ලොව ශුන්‍ය තා විසින් බලව, මෙසෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි, මෙසෙයින් ලොව බලන්නහු මෘත්‍යුරාජ නො දක්නේ යි.
මෝඝරාජ මාණව පෘච්ඡා නිමි.
16. පිඞ්ගිය මාණව පෘච්ඡා
16-1. (ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි:) මම් ජීර්‍ණයෙමි, දුර්‍වලයෙමි, විවර්ණයෙමි, (මාගේ) නේත්‍රයෝ ශුද්ධ නො වෙති. ශ්‍රවණය පහසු නො වෙයි. මම් (මුඹ වහන්සේ ගේ දහම් පසක් නො කොට) අතුරෙහි මැ මුළා වූයෙම් නහමක් නැසෙම්වා, මේ පහණ සෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාව ගේ ප්‍රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
16-2. (බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) රූපනිමිතින් නැසෙනවුන් දැක (කුශල ධර්‍මයෙහි) ප්‍රමත්ත ජනයෝ රූපනිමිතින් පෙළෙති. එහෙයින් පිඞ්ගිය, තෙපි (කුශලධර්‍මයෙහි) අප්‍රමත්ත වැ පුනර්‍භවය නො වනු පිණිස රූපය දුරු කරව.