10. කප්ප මාණව පෘච්ඡා
10-1. (ආයුෂ්මත් කප්පමාණවක මෙසේ විචාරයි:) නිදුකාණන් වහන්ස, (පෙර-පර කෙළවරරහිත බැවින්) මධ්ය වූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඬනා ලද්දවුනට (ජාත්යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්රතිෂ්ඨාව වදාළ මැනැව. මුඹ වහන්සේ වැළිත් යම්සේ මෙ දුක යළි නො වන්නේ නම් එසෙයින් මට ප්රතිෂ්ඨාව වදාළ මැනැවි.
10-2. (බුදුහු මෙසේ වදාළහ: කප්පමාණවකය,) මධ්ය වූ සසරැ සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනා ලද්දවුනට (ජාත්යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්රතිෂ්ඨාව කප්පය තොපට කියමි.
10-3. අපර ප්රතිෂ්ඨා රහිත වූ තෙල ප්රතිෂ්ඨාව (රාගාදි) කිඤ්චන (පලිබොධ) රහිත යැ, ආදාන (තෘෂ්ණා) රහිත යැ, ජරා මරණ ව්යුපශමය වූ එය ‘නිවනැ’ යි කියමි.
10-4. ස්මෘතිමත්වූ දක්නා ලද (අනිත්යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල නිවන දැන (ක්ලේශපරිනිර්වාණයෙන්) පිරිනිවියාහු වෙද්ද, ඔහු මාරවශයට ගියාහු නො වෙති. ඔහු මාරයාගේ මඟ යන්නාහු (පරිවාරකයෝ) නො වෙත් යයි.
කප්ප මාණව පෘච්ඡා නිමි.
11. ජතුකණ්ණී මාණව පෘච්ඡා
11-1. (ආයුෂ්මත් ජතුකණ්ණීමාණවක මෙසේ විචාරයි:) වීරයන් වහන්ස, මම් මුඹ වහන්සේ (කාමයන් නො කැමැති හෙයින්) අකාමකාමී වූ ඕඝය ඉක්ම වූ කෙනෙකැ යි අසා නිෂකාම වූ භාග්යවතුන් පුළුවුස්නට ආයෙමි. සහජාත වූ ඥානචක්ෂුස ඇතියාණෙනි ශාන්තිය හා ශාන්තිපදය (නිවන) හා වදාළ මැනැව. භාග්යවතුන් වහන්ස, තෙල කරුණ තථ්ය වූ පරිදි වදාළ මැනැවි.
11-2. යම් හෙයකින් භාග්යවතුන් වහන්සේ තෙද ඇති හිරු තෙදින් පෘථිවිය සෙයින් කාමයන් මැඬලා වාසය කරන සේක් ද, එහෙයින් මහාප්රාඥයන් වහන්ස, මෙහි මැ ජාතිජරාවගේ ප්රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම මඳ නුවණැති වූ මට වදාළ මැනව.
11-3. (බුදුහු මෙසේ වදාළහ. ජතුකණ්ණී මාණවකය,) නෛෂ්ක්රම්යය ක්ෂේම වශයෙන් දැක වස්තුකාම ක්ලේශකාමයෙහි තෘෂ්ණාව දුරු කරව, තෘෂ්ණාදෘෂ්ටි විසින් ගන්නා ලද්දෙක් හෝ හළයුත්තෙක් හෝ (රාගාදි) කිඤ්චනයෙක් හෝ නහමක් තොපට වේවා.