1. අජිත මාණව පෘච්ඡා
1-1. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්: ලෝවැසි තෙම කිමෙකින් නිවෘත (වැසුණේ) ද? කවර හෙයින් නො පැනේ ද? කිමෙක් ඔහට අභිලේපන (ලහටු) යැ යි වදාරන සේක් ද? කිමෙක් ඔහට මහද්භය වේ ද?
1-2. (අජිත යැ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) ලෝවැසි තෙම අවිද්යායෙන් නිවෘත යැ. මාත්සර්ය්ය හෙයින් ප්රමාද හෙයින් නො පැනෙයි (ප්රකාශ නො වෙයි) තෘෂ්ණාව අභිලේපන යැ යි කියමි, (ජාත්යාදි) දුක ඔහට මහද්භය වෙයි.
1-3. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) හැම තන්හි (රූපාදි ආයතනයන්හි තෘෂ්ණාදි) ස්රෝතස්හු ගලා යෙති , ස්රෝතසුන්ගේ ආවරණය කවරැ? ස්රෝතසුන් ගේ සංවරය වදාළ මැනැව. කවර දහමෙකින් ස්රෝතස්හු පියනු ලැබෙත් ද (පසිඳිනු ලැබෙත් ද)?
1-4. (අජිත යැ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) ලොවැ යම් ස්රෝතස් කෙනෙක් වෙත් ද, ස්මෘතිය ඔවුනට ආවරණ වෙයි, (එ මැ ස්මෘතිය) ස්රෝතසුන්ගේ ‘සංවරය’ යි කියමි, (මාර්ග) ප්රඥාව විසින් තුලුහු පියනු (පසිඳිනු) ලැබෙත්.
1-5. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.) ප්රඥාව ද ස්මෘතිය ද (තදවශේෂ) නාමරූපය ද යන තෙල සියල්ල කොහි නිරුද්ධ වේ ද? නිදුකාණෙනි, මා විසින් පුළුවුස්නා ලද මුඹ වහන්සේ තෙල කරුණ මට වදාළ මැනව.
1-6. අජිත තෙපි යම් පැනයක් විචාළ වු ද, එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද, (පශ්චිම) විඥානයාගේ නිරෝධය හා මැ (පෙර පසු නො වැ) තෙල විඥාන නිරෝධයෙහි මැ තෙල නාමරූපය උපරුද්ධ වෙයි (විඥාන නිරෝධය ඉක්ම නො යෙයි.)
1-7. නිදුකාණෙනි, මෙ ලොවැ (අනිත්යාදි විසින්) විමසන ලද ධර්ම ඇති යම් (අශෛක්ෂ) කෙනෙකුත් වෙත් ද, බොහෝ වූ යම් ශෛක්ෂ කෙනෙකුත් වෙත් ද, මා විසින් පුළුවුස්නා ලද (ශෛක්ෂාශෛක්ෂ ධර්මයෙහි) පණ්ඩිත වූ මුඹ වහන්සේ ඔවුන්ගේ ප්රතිපත්තිය මට වදාළ මැනැව.
1-8. කාමයෙහි ගිජු නො වන්නේ යැ, සිතින් නො කැළඹුණෙක්, වන්නේ යැ, මහණ තෙම සියලු ධර්මයන්හි දක්ෂ වූයේ ස්මෘතිමත් වැ හැසිරෙන්නේ යි.
අජිත මාණව පෘච්ඡා නිමි.
2. තිස්සමෙත්තෙය්ය මාණව පෘච්ඡා
2-1. (ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්ය මෙසේ පිළිවිත්:) මෙලොවැ කවරෙක් සතුටු වූයේ ද, කවරක්හට (තෘෂ්ණා-දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද, කවරෙක් අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ ම්යධයෙහි ප්රඥායෙන් නො ඇලේ ද, කවරක්හු ‘මහාපුරුෂ’ යයි කියනු සේක් ද, කවරෙක් මෙහි තෘෂ්ණා සිබ්බනිය (ගෙතුම) ඉක්මැ ගියේ දැ? යි”
2-2. (‘මෙත්තෙය්ය’ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) කාමයෙහි (ආදීනව දැක) බඹසර ඇති පහ වූ තෘෂ්ණා ඇති හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්යාදි විසින්) දහම් විමසා (රාගාදිය නිවීමෙන්) නිවුණු යම් මහණෙක් වේ ද, ඔහට ඉඤ්ජිතයෝ නැත්තාහ.
2-3. හේ අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ මධ්යයෙහි ප්රඥායෙන් නො ඇලෙයි, ඔහු ‘මහාපුරුෂ’ යයි කියමි. හේ මෙ ලොව්හි තෘෂ්ණා සිබ්බනිය ඉක්මැ ගියේ යි.
තිස්සමෙත්තෙය්යමාණව පෘච්ඡා නිමි.
3. පූර්ණක මාණව පෘච්ඡා
3-1. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ (එහෙයින්) අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශල මූලාදිය දක්නා සුලු වූ භාග්යවතුන් වහන්සේ කරා ප්රශ්නයෙන් ප්රයෝජන ඇත්තමෝ ආම්හ, මෙලොවැ ඍෂිහු යැ මනුෂ්යයෝ යැ ක්ෂත්රියයෝ යැ බ්රාහ්මණයෝ යැ යන බොහෝ යාග කරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දෙය ධර්මය පර්ය්යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්යවතුන් වහන්ස, එ කරුණ මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැවි.