9. 10.
(රූපනිමිත්තාදි නිකෙතයෙහි නො හැසිරෙන හෙයින්) අනිකෙතසාරී වූ ක්‍ෂීණාසුව මුනි තෙම රූපවස්ත්‍වාදි විඥානගොචරය - ඕකය හැරපියා ගම්හි ගිහීසන්ථවයන් නො කෙරෙමින් කාමයන් කෙරෙන් වෙන් වූයේ (මතු අත්බව්හි තෘෂ්ණාවශයෙන්) වට්ටය පෙරටු නො කරනුයේ ජනයා සමග විග්‍රාහිකකථාව නො කරන්නේ යී.
“එකල්හි හලිද්දකානී ගෘහපති තෙම ආයුෂ්මත් මහාකාත්‍යායනයන් වහන්සේ සමීපයට එළැඹ, ආයුෂ්මත් මහාකාත්‍යායනයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ එකත්පස් වැ හුන්නේය. එකත්පස් වැ හුන් හලිද්දකානී ගෘහපති තෙම ආයුෂ්මත් මහාකාත්‍යායනයන් වහන්සේට මෙපවත් කීය: ‘ස්වාමීනි, කාත්‍යායනයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටකවර්‍ගයෙහි වූ මාගන්දියප්‍රශ්නයෙහි මේ වදාරන ලද්දේය:
1. ‘රූපවස්ත්‍වාදි විඥානයාගේ අවකාශ සඞ්ඛ්‍යාත ඕකය දුරු කොට අනිකෙතසාරී වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙම ගම්හි ගිහීන් හා සන්‍ථව නො කෙරෙමින් කාමයන් කෙරෙන් වෙන්වූයේ වට්ටය පෙරටු කොට නො සිටියේ ජනයා සමග විග්‍රාහික කථාව නො කරන්නේය’යි.
ස්වාමීනි, කාත්‍යායනයන් වහන්ස, භාග්‍යවතුන් විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය කෙසේ නම් විස්තරයෙන් දතයුත්තේ දැ”යි.
‘ගෘහපතිය, රූපස්කන්‍ධය (කර්‍ම) විඥානයාගේ ඔක (=ප්‍රත්‍යය) වෙයි, තවද රූපධාතුයෙහි රාගයෙන් බැඳුණු කර්‍මවිඥානය ඔකසාරී (-ආලයෙහි හැසිරෙන සුලු) යැයි කියනු ලැබෙයි. ගෘහපතිය, වෙදනාස්කන්ධය... සංඥාස්කන්‍ධය... ගෘහපතිය සංස්කාරස්කන්‍ධය කර්‍මවිඥානයාගේ ඕකය වෙයි, තවද සංස්කාරස්කන්‍ධයෙහි රාගයෙන් බැඳුණු කර්‍මවිඥානය ‘ඔකසාරී’ යයි කියනු ලැබේ. මෙසෙයින් ගෘහපතිය ඔකසාරී වේ.
තවද ගෘහපතිය, කිසෙයින් ‘අනෝකසාරී’ වෙයි ද යත්? ගෘහපතිය, රූපස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් යම් (තෘෂ්ණා දෘෂ්ටි සඞ්ඛ්‍යාත) උපය කෙනෙක් හා (කාමාදි) උපාදාන කෙනෙක් අකුශල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවේශ අනුශය වූවාහු ද ඔවුහු තථාගතයන් විසින් ප්‍රහීණ කරන ලද්දාහු උසුන්මුල් කළාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, එහෙයින් සම්මාසම්බුදුහු ‘අනෝකසාරී’ යයි කියනු ලැබෙති. ගෘහපතිය, වෙදනාස්කන්‍ධයෙහි... සංඥාස්කන්‍ධයෙහි... සංස්කාරස්කන්‍ධයෙහි... ගෘහපතිය, විඥානස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් යම් උපය හා උපාදාන කෙනෙක් අකුසල් සිතට ආධාර නිවාස අනුශය වූවාහු නම් ඔවුහු සම්මාසම්බුදුන් විසින් ප්‍රහාණය කරන ලද්දාහු උපුටාහළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, එහෙයින් තථාගතයෝ ‘අනෝකසාරී’ යයි කියනු ලැබෙත්. මෙසෙයින් ගෘහපතිය, අනෝකසාරී වේ.
තවද ගෘහපතිය, කිසෙයින් නිකෙතසාරී වෙයි ද යත්? රූපනිමිත්ත සඞ්ඛ්‍යාත නිකෙතයෙහි (-රූප නමැති නිවාසයෙහි) පැතිරීම හා බැඳීම හේතු කොටගෙන ‘නිකෙතසාරී’ යයි කියනු ලැබෙයි. ශබ්දනිමිත්ත... ගන්ධනිමිත්ත... රසනිමිත්ත... ස්ප්‍රෂ්ටව්‍යනිමිත්ත... ධර්‍මනිමිත්ත නමැති නිවාසයෙහි විසාරවිනිබන්ධ (-පැතිරීම ත් බැඳීම ත්) හේතු කොටගෙන ‘නිකෙතසාරී යයි කියනු ලැබේ. මෙසෙයින් ගෘහපතිය, නිකෙතසාරී (-අරමුණෙහි වෙසෙනුයේ) වේ.