9.
මාගණ්‌දියසූත්‍රනිර්දේශය
ඉක්බිති මාගන්‍දිය සූත්‍රනිර්දේශය කියනු ලැබේ.
9. 1.
තෘෂ්ණා යැ අරති යැ රගා යැ යන (මාරදුහිතෲන්) තිදෙනා දැක මෙවුන්දම්හි ඡන්‍දයෙක් හෝ නො වී යැ. මලමූයෙන් පිරුණු මේ සිරුර දැක කවර කරුණෙකින් (ඡන්‍දයෙක් වේ ද නො වේ මැයි.) ඒ සිරුර පයිනු දු ස්පර්‍ශ කරන්නට නො රිස්සෙමි.
දිස්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්‍දො අපි මෙථුනස්මිං - තෘෂ්ණා ද අරති ද රගා ද යන මාරදුහිතෲන් දැක පවා, මෙවුන්දම්හි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නො වී නුයි ‘දිස්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්‍දො අපි මෙථුනස්මිං’ යනු වේ.
කිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ මූයෙන් පිරුණු මලයෙන් පිරුණු සෙමින් පිරුණු ලෙයින් පිරුණු ඇටසඟුළු වූ නහරවැලින් බැඳුණු, ලේමසින් ආලේප කළ සමින් එතුණු සිවියෙන් වැසුණු නොයෙක් සිදුරු ඇති (ඇස් ආදියෙන්) ඉතිරෙන (අධෝභාගයෙන්) වැගිරෙන පණුකැලන් ගැවැසෙන නොයෙක් අසුචිමලයෙන් හාත්පසින් පිරුණු මේ සිරුර කියනු මැ කිම. (එය) පයින් ඇක්මෙන්නට (පවා) නො රිස්සෙමි. වැලි කවර කරුණෙකින් සංවාසයෙක් හෝ සමාගමයෙක් හෝ වේ දැ’යි ‘කිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ, යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිස්වාන තණ්හං -පෙ- පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ” යී.
9. 2.
බොහෝ රජුන් විසින් පතන ලද දිව්‍යස්ත්‍රිරත්නයක් වැනි වූ මෙබඳු ස්ත්‍රියක ඉදින් නො කැමැත්තවු නම්, (එකල්හි) තොපගේ දෘෂ්ටිය ද ශීලව්‍රතය ද ජීවිතය ද භවෝත්පත්තිය ද, කෙබඳු දැ’යි කියනු මැනවැ’යි.
යම් හෙයකින් මිනිසෙක් දිව්‍යකාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමින් මානුෂිකකාමයන් නො කැමැති වන්නේ නම්, මානුෂිකකාමයන් හෝ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමින් දිව්‍යකාමයන් නො කැමැති වන්නේ නම්, තෙල ආශ්චර්‍ය්‍යයෙක් නො වෙයි. යම් හෙයකින් තෙපි දෙක මැ නො රිසියවු ද නො ඉවසවු ද, නො පතවු ද, නො කැමැති වවු ද, නො සිතවු ද, (එහෙයින්) තොප ගේ දර්‍ශනය කිම? තෙපි කවර ලබ්ධියකින් සමන්විතයවු දැ’යි විචාරයි:
“එතාදිසං චෙ -පෙ- වදෙසි කීදිසං” යී.
9. 3.
(බුදුහු මාගන්‍දිය, යී මෙසේ වදාරති:) දෙසැටදිටුදහම්හි, නිශ්චය කොට මෙය මැ (සැබැවැයි මෙසේ) කියමී දැඩි ව ගන්නා ලද්දෙක් මට නො වෙයි, යළි දෙසැට දෘෂ්ටීන්හි (ආදීනවය) දක්නෙම් (කිසි දෘෂ්ටියක්) දැඩි ව නො ගෙන (සිවුසස්) සොයනුයෙම් අධ්‍යාත්මශාන්ති යයි කියන ලද නිවන දිටිමි.
ඉදං වදාමීති න තස්ස හොති - ‘ඉදං වදාමි’ යනු: මේ කියමි, තෙල කියමි, මෙතෙක් කියමි, මෙතෙකින් කියමි, මේ දෘෂ්ටිගතය කියමි: ‘ලෝකය ශාශ්වතැ’යි හෝ...සත්ත්‍ව තෙම මරණින් මතුයෙහි නො මැ වෙයි, නො වන්නේ නො වේය යි; න තස්ස හොති - මට නොවෙයි, මෙතෙකින් කියමී, ඒ මට නො වේ නුයි ‘ඉදං වදාමීති න තස්ස හොති’ යනු වේ. ‘මාගන්‍දිය’යී බුදුහු ඒ බමුණු නමින් අමතන සේක...’භගවා’ යනු: ගෞරවාධිවචන යැ...මේ ‘භගවා’ යනු (සර්‍වධර්‍මයන්) ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියෙක් නුයි ‘මාගන්දියාති භගවා’ යනු වේ.
ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: දෙසැට දෘෂ්ටිගත යන්හි; නිච්ඡෙය්‍ය - නිශ්චය කොට විනිශ්චය කොට විමසා වෙසෙසින් විමසා තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට, අවධි කොට ගැනීම කොටස් වශයෙන් ගැනීම උතුම් කොට ගැනීම කොටස් කොට ගැනීම රාශිවශයෙන් ගැනීම විශෙෂරාශිවශයෙන් ගැනීම, මේ සැබව අවිපරීත යැ භූත යැ යාථාවත් යැ අවිපරීත යැයි ගන්නා ලද පරාමර්‍ශ කළ අභිනිවේශ කළ ඇතුළත් වැ සිටි බැසගන්නා ලද්දක් නැත, විද්‍යමාන නො වෙයි, නො ලැබෙයි, ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ සන්හිඳුවන ලද දුරලන ලද අභව්‍යොත්පත්තික කරන ලද නුවණගින්නෙන් දවන ලද නුයි ‘ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං’ යනු වේ.