8. 9.
යම් කෙනෙක් (දෙසැට දිටු අතුරෙන්) එක්තරා දෘෂ්ටියක් දැඩිව ගෙන විවාද කෙරෙත් ද, යළි මෙය මැ සැබවැයි කියත් ද, තෝ ඔවුනට කිය, වාදයක් උපන් කල්හි විරුද්ධකාරක වූ ඔහු මේ සස්නෙහි නැති හෙයිනි.
යෙ දිට්ඨිමුග්ගයහ විවාදයන්ති - යම් කෙනෙක් දෙසැට දිටු අතුරෙන් එක්තරා දෘෂ්ටියක් ගෙන ග්‍රහණය කොට දැඩිව ගෙන පරාමර්‍ෂණය කොට අභිනිවේශය කොට විවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්‍රහ කෙරෙති, විරුද්ධවාද කෙරෙති, මෙධග කෙරෙති: ‘තෝ මේ ධර්‍මවිනය නො දන්නෙහි ය, මම් මේ ධර්‍මවිනය දනිමි, කිමැ තෝ මේ ධර්‍මවිනය දනී ද? තෝ වරදවා පිළිපන්නෙහි ය, මම් සම්‍යක්ප්‍රතිපන්නයෙමි, මාගේ වචනය අර්ත්‍ථසහිත ය, තාගේ වචනය අනර්ත්‍ථසංහිතය, පළමු කියැයුත්ත පසුව කිවුය, පසුව කියැයුත්ත පළමු කිවුය. තා විසින් ආචීර්‍ණ වූ දෙය (මාගේ වාදයට පැමිණ) නැවැතිණ, තට (මා විසින්) දෝෂාරෝපණය කරන ලද. නිග්‍රහ කරන ලදුයෙහි දොසින් මිදෙනු සඳහා පිළිතුරු සොයා යව. පොහොසත්හි නම් (මා නැගූ දොසින්) මිදෙව’යි ‘යෙ දිට්ඨිමුග්ගයහ විවාදයන්ති’ යනු වේ.
ඉදමෙව සච්චන්ති ච වාදයන්ති - ‘ලෝකය ශාශ්වත යැ මෙය මැ සැබව, අන්‍යය සිස් යැ’යි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්; ‘ලෝකය අශාශ්වත යැ... සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’යි පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘ඉදමෙව සච්චන්ති ච වාදයන්ති’ යනු වේ.
තෙ ත්‍වං වදස්සු න හි තෙධ අත්‍ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා - තෙපි ඒ දෘෂ්ටිගතිකයන්ට වාදයෙන් විවාද විග්‍රහයෙන් විග්‍රහය ප්‍රතිකර්‍මයෙන් ප්‍රතිකර්‍මය විශේෂයෙන් විශේෂය ප්‍රතිවිශෙෂයෙන් ප්‍රතිවිශෙෂය වෙළුමෙන් වෙළුම මිදුමෙන් මිදුම සිඳුමෙන් සිඳුම මණ්ඩලයෙන් මණ්ඩලය කියවු, ඔවුහු තට ප්‍රතිශූර ප්‍රතිපුරුෂ ප්‍රතිශත්‍රැ ප්‍රතිමල්ලයෝ වෙත් නුයි ‘තෙ ත්‍වං වදස්සු’ යනු වේ. න හි තෙධ අත්‍ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා - වාදය උපන් කල්හි හටගත් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළවූ කල්හි මැ විරුද්ධ කාරක තෙම ප්‍රතිලොමකර්‍තෘ තෙම ප්‍රතිභණ්ඩකාරක තෙම ප්‍රතිපක්‍ෂ කාරක තෙම කලහ කරන්නේ යැ, ඩබර කරන්නේ යැ, විග්‍රහ කරන්නේ යැ, විවාද කරන්නේ යැ, මෙධග කරන්නේ යි; ඒ (ප්‍රතිපක්‍ෂකර) ක්ලේශයෝ නැත, නො වෙති අවිද්‍යමාන වෙති නො ලැබෙත්; (ඔහු) ප්‍රහීණයෝ යැ සමුච්ඡින්නයෝ යැ සන්හිඳුණාහුය, දුරලන ලද්දාහු යැ උපතට නුසුදුසු වූවාහු යැ නුවණගින්නෙන් දැවුණාහු නුයි - ‘තෙ ත්‍වං වදස්සු න හි තෙධ අත්‍ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යෙ දිට්ඨිමුග්ගයහ -පෙ- පටිසෙනිකත්තා” යී.
8. 10.
තවද යම් කෙනෙක් (කෙලෙස්මාරසෙනඟ) වනසා දෙසැට දෘෂ්ටියෙන් දෘෂ්ටියකට අවිරුද්ධ වෙමින් වෙසෙත් ද, මේ සස්නෙහි යම් කෙනකුන්ට මේ පරම යයි දැඩිව ගන්නා ලද්දක් නැත්තේ ද, පසූරය, තෝ ඒ රහතුන් කෙරෙහි කවර ප්‍රතිමල්ලයකු ලබන්නෙහි ද?
විසේනි කත්‍වා පන යෙ චරන්ති - මරසෙනඟ ‘සේනා’ යයි කියනු ලැබෙයි, කායදුශ්චරිතය මාරසෙනා යැ, වාග්දුශ්චරිතය මාරසෙනා යැ, මනෝදුශ්චරිතය මාරසෙනා යැ, ලෝභය මාරසෙනා යැ, ද්වේෂය මාරසෙනා යැ, මෝහය මාරසෙනා යැ, ක්‍රෝධය මාරසෙනා යැ, උපනාහය මාරසෙනා යැ, මකුබව මාරසෙනා යැ, යුගග්‍රාහය මාරසෙනා යැ, ඊර්‍ෂ්‍යාව මාත්සර්‍ය්‍යය මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංස්කාරයෝ මාරසෙනා යි. මේ වදාරන ලද මැය භාග්‍යවත්හු විසින්: