8. 10.
තවද යම් කෙනෙක් (කෙලෙස්මාරසෙනඟ) වනසා දෙසැට දෘෂ්ටියෙන් දෘෂ්ටියකට අවිරුද්ධ වෙමින් වෙසෙත් ද, මේ සස්නෙහි යම් කෙනකුන්ට මේ පරම යයි දැඩිව ගන්නා ලද්දක් නැත්තේ ද, පසූරය, තෝ ඒ රහතුන් කෙරෙහි කවර ප්රතිමල්ලයකු ලබන්නෙහි ද?
විසේනි කත්වා පන යෙ චරන්ති - මරසෙනඟ ‘සේනා’ යයි කියනු ලැබෙයි, කායදුශ්චරිතය මාරසෙනා යැ, වාග්දුශ්චරිතය මාරසෙනා යැ, මනෝදුශ්චරිතය මාරසෙනා යැ, ලෝභය මාරසෙනා යැ, ද්වේෂය මාරසෙනා යැ, මෝහය මාරසෙනා යැ, ක්රෝධය මාරසෙනා යැ, උපනාහය මාරසෙනා යැ, මකුබව මාරසෙනා යැ, යුගග්රාහය මාරසෙනා යැ, ඊර්ෂ්යාව මාත්සර්ය්යය මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංස්කාරයෝ මාරසෙනා යි. මේ වදාරන ලද මැය භාග්යවත්හු විසින්:
1. “කාමයෝ තාගේ පළමුවැනි සේනාව ය, දෙවැන්නී අරතිය යි කියනු ලැබෙයි” (4. 6. සූත්රනිර්දේශය)
යම් හෙයකින් සතර ආර්ය්යමාර්ගයෙන් සියලු මාරසෙනාවෝ ද සියලු ප්රතිපක්ෂකර ක්ලේශයෝ ද ජයගන්නා ලද්දාහු පරදවන ලද්දාහු බිඳින ලද්දාහු නසන ලද්දාහු පරාඞ්මුඛ කරන ලද්දාහු වෙත් ද, එහෙයින් ‘විසේනි කත්වා’ යී කියනු ලැබේ. යෙ යනු: අර්හත් ක්ෂීණාස්රවයෝ යැ; චරන්ති - හැසිරෙති, වෙසෙති ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘විසේනි කත්වා පන යෙ චරන්ති’ යනු වේ.
දිට්ඨිහි දිට්ඨිං අවිරුජ්ඣමානා - යම් කෙනකුන් විසින් දෙසැට දෘෂ්ටිගතයෝ ප්රහීණ කරන ලද්දාහු සිඳින ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු උපතට අභව්ය කරන ලද්දාහු ඥානාග්නියෙන් දවන ලද්දාහු ද ඔහු (දෙසැට) දෘෂ්ටියෙන් දෘෂ්ටියකට අවිරුද්ධ වන්නාහු දැඩිව නො ගන්නාහු නො ගැටෙන්නාහු අප්රතිහත වන්නාහු නුයි ‘දිට්ඨිහි දිට්ඨිං අවිරුජ්ඣමානා’ යනු වේ.
තෙසු ත්වං කිං ලභෙථො පසූර - ඒ අර්හත් ක්ෂීණාස්රවයන් කෙරෙහි ප්රතිශූරයකු ප්රතිපුරුෂයකු විරුද්ධ සතුරකු ප්රතිමල්ලයකු කිම ලබන්නෙහි දැ යි ‘තෙසු ත්වං කිං ලභෙථො පසූර’ යනු වේ.
යෙසී’ධ නත්ථි පරමුග්ගහීතං - යම් අර්හත් ක්ෂීණාස්රව කෙනකුන්ට මේ පරම යැ අග්ර යැ ශ්රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්රවර යැයි ගන්නා ලද පරාමර්ශනය කළ අභිනිවේශ කළ අධ්යවසිත අධිමුක්ත වූවක් නැත් ද නො වෙත් ද අවිද්යමාන වෙත් ද නො ලැබෙත් ද ප්රහීණ කරන ලද සමුච්ඡින්න කරන ලද සන්හිඳුවන ලද දුරලන ලද අභව්යොත්පත්තික කරන ලද ඥානාග්නීන් දවන ලද නුයි ‘යෙසීධ නත්ථි පරමුග්ගහීතං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“විසේනි කත්වා පන -පෙ- පරමුග්ගහීතං” යී.
8. 11.
තවද තෝ සිතින් දෘෂ්ටිගතයන් සිතමින් (මට ජය වේ දෝ හෝයි ආදිය) විතර්ක කෙරෙමින් ආයෙහි. ධුතක්ලෙශ වූ බුදුන් සමග යුගග්රාහයට ආයෙහි. එතෙකුදුවත් තෝ සමීපයට පැමිණෙන්නට නො හැකි වන්නෙහි.