8.
පසූරසූත්‍රනිර්දේශය
ඉක්බිති පසූරසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ.
8. 1.
යම් ශාස්තෘ ආදියක් ඇසුරු කළා වූ ඒ ස්වකීය දෘෂ්ටියෙහි ශුභවාද ඇත්තා වූ බොහෝ මහණ බමුණෝ වෙන වෙන සත්‍යයන්හි බැසගත්තාහු ද (මේ දෘෂ්ටිගතිකයෝ) මෙහි මැ ශුද්ධිය වේ යැයි වාද කෙරෙති අන්‍ය ධර්‍මයන්හි විශුද්ධිය නැතැයි කියත්.
ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති - මෙහි මැ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වේ යයි පවසති කියති බෙණෙති දක්වති වහරත්. ‘ලෝකය ශාශ්වත යැ ලෝකය අශාශ්වත යැ ලෝකය අන්තවත් යැ ලෝකය අනන්තවත් යැ ආත්මයත් ශරීරයත් එකෙක් මැ ය ආත්මය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ සත්ත්‍වයා මරණින් මතු විද්‍යමාන වෙයි, සත්ත්‍වයා මරණින් මතු නො වෙයි, සත්ත්‍වයා මරණින් මතු වන්නේ ත් නො වන්නේ ත් වෙයි, සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි මේ මැ සැබව අන්‍යය සිස් යැ යි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති’ යනු වේ.
නාඤ්ඤෙසු ධම්මේසු විසුද්ධිමාහු - තමා ගේ ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය තබා සියලු පරවාදයන් බැහැර කෙරෙති දුරු කෙරෙති ප්‍රතික්‍ෂේප කෙරෙත්; ඒ ශාස්තෘහු අසර්‍වඥ යැ, ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි, ගණයා සුප්‍රතිපන්න නො වෙයි, දෘෂ්ටිය භද්‍ර නො වෙයි, ප්‍රතිපදාව සුප්‍රඥප්ත නො වෙයි, මාර්‍ගය අනෛර්‍ය්‍යාණික යැ, එහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය හෝ මුක්තිය විමුක්තිය පරිමුක්තිය හෝ නැත. (සත්ත්‍වයෝ) එහි ශුද්ධ විශුද්ධ පරිශුද්ධ හෝ නො වෙති, මුක්ත විමුක්ත පරිමුක්ත හෝ නො වෙත්; (ඔහු) හීනයෝ යැ නිහීනයෝ යැ අවමතයෝ යැ ලාමකයෝ යැ අප්‍රත්‍යයෝ යැ අල්පයෝ යැයි මෙසේ කියති පවසති කථා කෙරෙති බෙණෙති දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘නාඤ්ඤෙසු ධම්මේසු විසුද්ධිමාහු’ යනු වේ.
යං නිස්සිතා තත්‍ථ සුභංවදානා - යං ‘නිස්සිතා’ යනු: යම් ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ඇසුරු කළාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු; තත්‍ථ - ස්වකීය දෘෂ්ටියෙහි සිය කැමැත්තෙහි සිය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි; සුභංවදානා- ස්වකීය ලබ්ධියෙහි ශුභවාද ඇත්තාහු සුන්‍දර යයි කියන්නාහු (ඇපි) පණ්ඩිතයම්හ යි කියන්නාහු ස්ථිරවාද ඇතියම්හයි - න්‍යායවාද ඇතියම්හයි - හේතුවාද ඇතියම්හයි - සැලකිය යුතු දෑ කියම්හයි - සකාරණ ව කියම්හයි - නැවැතුණු වාද ඇතියම්හයි කියන්නාහු නුයි ‘යංනිස්සිතා තත්‍ථ සුභංවදානා’ යනු වේ.
පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා - බොහෝ මහණබමුණෝ බොහෝ වූ වෙන වෙන ම සත්‍යයන්හි පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු ‘ලෝකය ශාශ්වත යැ මේ මැ සැබව අන්‍යය තුච්ඡ යැ’ යි පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු; ‘ලෝකය අශාශ්වත යැ... ‘සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මෙය මැ සැබව අන්‍යය තුච්ඡ යැ’යි පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළුවූවාහු බැසගත්තාහු නුයි ‘පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා’ යනු වේ.
එයින් වදාළහ, බුදුහු:
“ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති -පෙ- පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා” යි.