8. 3.
පිරිස් මැද වාදකථායෙහි උත්සුක වූයේ (තමහට) පැසැසුම් කැමැති වෙමින් (පළමු මැ) සැක ඇතියේ වෙයි. යළි (වීමංසකයන් විසින් ඔහු ගේ වාදය) බැහැර කරනු ලැබූ කල්හි මකු වෙයි. සිදුරු සොයන්නාවූ හෙතෙම නින්‍දාවෙන් කෝපයට පැමිණේ.
යුත්තො කථායං පරිසාය මජ්ඣෙ - ක්‍ෂත්‍රියපර්‍ෂද් හෝ බ්‍රාහ්මණපර්‍ෂද් හෝ ගෘහපතිපර්‍ෂද් හෝ ශ්‍රමණපර්‍ෂද් හෝ මැද තමාගේ වාදකථායෙහි කියන්නට උත්සුක වූයේ ප්‍රයුක්ත වූයේ ආයුක්ත වූයේ සංයුක්ත වූයේ සම්ප්‍රයුක්ත වූයේ නුයි ‘යුත්තො කථායං පරිසාය මජ්ඣෙ’ යනු වේ.
පසංසමිච්ඡං විනිඝාති හොති - ‘පසංසමිච්ඡං’ යනු: පැසැසුම් තෙමුම් කීර්‍තතිය යසස්වැඩීම කැමැති වෙමින් ඉවසමින් පතමින් බලාපොරොත්තු වෙමින් ගුණ කියමින්; විනිඝාති හොති - වාදකථාවෙන් පළමු මැ සැක ඇතියේ ගැටෙනුයේ වෙයි: ‘මට ජය වෙයි දෝ හෝ, මට පරාජය වෙයි දෝ හෝ, කිසෙයින් නිග්‍රහ කෙරෙම් ද කෙසේ පිළියම් කෙරෙම් ද කිසෙයින් විශේෂ (=අතිරේක) කෙරෙම් ද කිසෙයින් පුන පුනා විශේෂ කෙරෙම් ද කිසෙයින් වෙළුම් කෙරෙම් ද කිසෙයින් (මාගේ) වෙළුම් හරිම් ද කෙසේ (වාදය) සිඳිම් ද කෙසේ මඬුලු කෙරෙම් දැ’යි මෙසේ වාදකථාවෙන් පෙර මැ සැක ඇතියේ ගැටෙනුයේ වේ නුයි ‘පසංසමිච්ඡං විනිඝාති හොති’ යනු වේ.
අපාසදස්මිං පන මඞ්කු හොති - පිරිස්වැසි වූ පිරිවර වූ කාරුණික වූ යම් ප්‍රශ්න වීමංසකයෝ වෙත් ද ඔවුහු බැහැර කෙරෙති: ‘අර්‍ත්‍ථයෙන් බැහැර ව කියන ලදැ’යි අර්‍ත්‍ථයෙන් බැහැර කෙරෙති. ‘ඛ්‍යඤ්ජන රහිත ව කියන ලදැ’යි ඛ්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘අර්‍ථව්‍යඤ්ජන රහිතව කියන ලදැ’යි අර්‍ථව්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘තා විසින් අර්‍ත්‍ථය වරදවා එළවන ලද. තා විසින් ඛ්‍යඤ්ජනය වරදවා තබන ලද. තා විසින් අර්ත්‍ථව්‍යඤ්ජනය වරදවා එළවන ලද. තබන ලද. තා විසින් නිග්‍රහය නො කරන ලද. තා විසින් පිළියම් (ලබ්ධිය පිහිටුවීම) වරදවා කරන ලද. විශේෂය තා විසින් නො කරන ලද. ප්‍රතිවිශෙෂය තා විසින් වරදවා කරන ලද. වෙළුම තා විසින් නො කරන ලද. වෙළුම් හැරීම තා විසින් වරදවා කරන ලද. වාද සිඳුම තා විසින් නො කරන ලද. මණ්ඩලය තා විසින් වරදවා කරන ලද. විෂම ව කියන ලද, වරදවා කියන ලද, වරදවා බණන ලද, වරදවා විසඳන ලද, වරදවා උසුරුවන ලද, විරූපව කියන ලදැ’යි බැහැර කෙරෙත්. අපාසදස්මිං පන මඞ්කු හොති - බැහැර කළ කල්හි මකු වෙයි. පෙළුණේ ගැටුණේ ව්‍යාධිත වූයේ දොම්නස් වූයේ වේ නුයි ‘අපාසදස්මිං පන මඞ්කු හොති’ යනු වේ.
නින්‍දාය සො කුප්පති රන්‍ධමෙසි - නින්‍දායෙන් ගර්‍හායෙන් අපකිර්‍තතියෙන් අගුණ වැඩීමෙන් කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, (කෝපයෙන්) තද බවට පැමිණෙයි. කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරේ නුයි ‘නින්‍දාය සො කුප්පති’ යනු වේ. රන්‍ධමෙසී - රන්‍ධ්‍රය (=අතර) සොයනුයේ සිදුරු සොයනුයේ දෝෂය සොයනුයේ පැකුළුම සොයනුයේ ගිලිහුම සොයනුයේ ගැටුම සොයනුයේ විවරය සොයනුයේ නුයි ‘නින්‍දාය සො කුප්පති රන්‍ධමෙසී’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යුත්තො කථායං -පෙ- කුප්පති රන්‍ධමෙසී” යි.