2. 7.
(ඵස්ස - ඵස්සසමුදයාදි) දෙ දෙ අන්තයන්හි ඡන්දරාගය දුරු කොට (චක්ඛුසම්ඵස්සාදි) ස්පර්ශය ත්රිවිධ පරිඥායෙන් දැන රූපාදියෙහි ගිජු නො වූ කළ නො කළ හෙයින් තමහට ගරහ උපදවන කායදුශ්චරිත කායසුචරිතාදිය නො කරන ධීර (ප්රාඥ) තෙම රූප ශබ්ද (ගන්ධරසස්ප්රෂ්ටව්ය) ආයතනයන්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් නො ඇලේ.
උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං - ‘අන්තා’ යනු: අන්ත දෙකෙකි: ස්පර්ශය එක් අන්තයෙකැ, ස්පර්ශසමුදය දෙවැනි අන්තය යි. අතීතය අන්තයෙකැ, අනාගතය දෙවැනි අන්තය යි. සුඛවේදනාව එක් අන්තයෙකැ, දුක් වේදනාව දෙවැනි අන්තය යි. නාමය එක් අන්තයෙකැ, රූපය දෙවැනි අන්තය යි. ෂඩ් ආධ්යාත්මිකායතනයෝ එක් අන්තයෙකැ, ෂඩ් බාහිරායතනයෝ දෙවැනි අන්තය යි. සත්කාය එක් අන්තයෙකැ, සත්කායසමුදය දෙවැනි අන්තය යි. ඡන්ද නම්: පස්කම්ගුණයෙහි කාම සඞ්ඛ්යාත ඡන්දය කාමරාගය කාමනන්දිය කාමතෘෂ්ණාව කාමස්නෙහය කාමපරිදාහය කාමමූර්ඡාව කාමඅධ්යවසානය (-බැසගැනීම) කාමෞඝය කාමයෝගය කාමෝපාදානය කාමච්ඡන්දනීවරණය යි. උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං - දෙ දෙ අන්තයන්හි ඡන්දරාගය සන්හිඳුවන්නේ යැ, දුරු කරන්නේ යැ, බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අභාවයට පමුණුවන්නේ නුයි ‘උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං’ යනු වේ.
ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො - ‘ඵස්සො’ යනු: චක්ඛුසම්ඵස්ස යැ සෝත - ඝාන - ජිව්හා - කාය - මනෝසම්ඵස්ස යැ අධිවචන (-මනෝද්වාරික) සම්ඵස්ස යැ පටිඝ (පඤ්චද්වාරික) සම්ඵස්ස යැ සුඛවේදනීය - දුක්ඛවෙදනීය - අදුක්ඛමසුඛවෙදනීය සම්ඵස්ස යැ කුසල්සිත් සහගත පහස යැ අකුසල්සිත් සහගත - අව්යාකෘත සිත් සහගත - කාමාවචර සිත් සහගත - රූපාවචර - අරූපාවචර - ශුන්යත - අනිමිත්ත - අප්රණිහිත - ලෞකික - ලෝකෝත්තර - අතීත - අනාගත - වර්තමාන පහස යැ යන මෙබඳු වූ පහස පහස්නා අයුර මොනොවට ස්පර්ශ කළ බව ‘ඵස්ස’ යී කියනු ලැබේ.
ඵස්සං පරිඤ්ඤාය - ස්පර්ශය ඥාතපරිඥා තීරණපරිඥා ප්රහාණපරිඥා යන තුන් පරිඥායෙන් දැන.
ඥාතපරිඥා කවරී ද යත්: මේ චක්ඛුසම්ඵස්ස යැ, මේ ශ්රෝත්රසංස්පර්ශ යැ, මේ ඝ්රාණසංස්පර්ශ යැ, මේ ජිහ්වාසංස්පර්ශ යැ, මේ කායසංස්පර්ශ යැ, මේ මනස්සංස්පර්ශ යැ, මේ අධිවචනසංස්පර්ශ යැ, මේ ප්රතිඝසංස්පර්ශ යැ, මේ සුඛවෙදනීයස්පර්ශ යැ, මේ දුඃඛවෙදනීයස්පර්ශ යැ, මේ උපෙක්ෂාවෙදනීයස්පර්ශ යැ, මේ කුශලස්පර්ශ යැ, මේ අකුශලස්පර්ශ යැ, මේ අව්යාකෘතස්පර්ශ යැ, මේ කාමාවචරස්පර්ශ යැ, මේ රූපාවචරස්පර්ශ යැ, මේ අරූපාවචරස්පර්ශ යැ, මේ ශුන්යස්පර්ශ යැ, මේ අනිමිත්තස්පර්ශ යැ, මේ අප්රණිහිතස්පර්ශ යැ, මේ ලෞකිකස්පර්ශ යැ, මේ ලොකොත්තරස්පර්ශ යැ, මේ අතීතස්පර්ශ යැ, මේ අනාගතස්පර්ශ යැ, මේ ප්රත්යුත්පන්නස්පර්ශ යැ’යි ස්පර්ශය දැනගනී. මෝ යැ ඥාතපරිඥා නම්.