2. 8.
කාමසංඥාදිසංඥාව නොහොත් සංඥානුසාරයෙන් නාමරූපය ත්‍රිවිධ පරිඥායෙන් දැන චතුරෝඝය තරණය කරන්නේ ය. එහෙයින් තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහයන්හි නො ඇලුණු ඒ ක්‍ෂීණාස්‍රව මුනි තෙම උපුටා හළ රාගාදිශල්‍ය ඇතියේ අප්‍රමත්ත වැ හැසිරෙනුයේ (ස්වාත්මභාවාදි සඞ්ඛ්‍යාත) මෙලොවත් (පරාත්මභාවාදි සඞ්ඛ්‍යාත) පරලොවත් නො පතන්නේ යි.
සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං - ‘සඤ්ඤා’ යනු: කාමසංඥා යැ ව්‍යාපාද - විහිංසා - නෛෂ්කාම්‍ය - අව්‍යාපාද - අවිහිංසා සංඥා යැ, රූපසංඥා යැ ශබ්ද - ගන්‍ධ - රස - ස්පර්‍ශ - ධර්‍මසංඥා යැ යන මෙ බඳු වූ හැඳිනීම හඳුනන අයුර හැඳිනගත්බව ‘සඤ්ඤා’ යී කියනු ලැබේ. සඤ්ඤං පරිඤ්ඤා - සංඥාව ඥාත තීරණ ප්‍රහාණ යන ත්‍රිවිධපරිඥායෙන් පිරිසිඳ දැන; එහි ඥාතපරිඥා කවරී ද යත්: මෝ කාමසංඥා යැ මෝ ව්‍යාපාද - විහිංසා - නෛෂ්කාම්‍ය - අව්‍යාපාද - අවිහිංසා සංඥා යැ මෝ රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්පර්‍ශ - ධර්‍මසංඥා යැයි සංඥාව දැනගනී, දකී. මෝ යැ ඥාතපරිඥා නම්.
තීරණපරිඥා කවරී ද යත්: මෙසෙයින් සංඥාව ප්‍රකට කොට දැන අනිත්‍ය හෙයින් සිතයි. දුඃඛ - රෝග - ගණ්ඩ - ශල්‍ය - අඝ - ආබාධ - පර - පලෝක - ඊති - උපද්‍රව - භය - උපසර්‍ග - චල - පභඞ්ගු හෙයින් ... සමුදය - අස්තඞ්ගම - ආස්වාද - ආදීනව - නිස්සරණ හෙයින් සිතයි. මෝ යැ තීරණපරිඥා නම්.
ප්‍රහාණපරිඥා කවරී ද යත්: මෙසෙයින් ප්‍රකට කොට දැන මෙ සෙයින් තීරණ කොට සංඥායෙහි ඡන්‍දරාගය දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අභාවයට පමුණුවයි. වදාරන ලද මැ ය භාග්‍යවතුන් වහන්සේ විසින්: “මහණෙනි, සංඥායෙහි ඡන්‍දරාගය දුරු කරවු එවිට ඒ සංඥාව ප්‍රහීණ වූවා වෙයි. උපුටා හළ මුල් ඇත්තී, තාලවස්තුවක් මෙන් කරන ලද්දී, අභාවයට පැමිණියා, මතු නූපදනා පියවි ඇති වන්නී යැ”යි. මෝ යැ ප්‍රහාණපරිඥා නම්. ‘සඤ්ඤං පරිඤ්ඤා’ යනු: සංඥාව මේ ත්‍රිවිධ පරිඥාවෙන් පිරිසිඳ දැන; විතරෙය්‍ය ඕඝං - කාම - භව - දෘෂ්ටි - අවිද්‍යා ඕඝය තරණය උත්තරණය ප්‍රතරණය සමතික්‍රමණය කරන්නේ යැ ඉක්මවන්නේ නුයි ‘සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං’ යනු වේ.
පරිග්ගහෙසු මුනි නොපලිත්තො - ‘පරිග්ගහ’ යනු: තෘෂ්ණාපරිග්‍රහ යැ දෘෂ්ටිපරිග්‍රහ යැයි පරිග්‍රහ දෙකෙකි... මුනි යනු: ‘මොන’යී ඥානය කියනු ලැබෙයි. ප්‍රඥාව දැනගන්නා අයුර ... අමෝහය ධර්‍මවිචය සම්‍යග්දෘෂ්ටිය යැ. ඒ ඥානයෙන් යුක්ත වූ මුනි තෙම ‘මොනප්පත්ත’යි.
කායමෝනෙය්‍ය වචීමොනෙය්‍ය මනෝමෝනෙය්‍ය යැයි මෝනෙය්‍ය තුනෙකි. කායමෝනෙය්‍ය කවරැ? යත්: ත්‍රිවිධ කායදුශ්චරිතයන්ගේ ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ. ත්‍රිවිධ කායසුචරිතය කායමෝනෙය්‍ය යැ. කය අරමුණු කොට අනිත්‍යාදිවශයෙන් පැවැති ඥානය කායමෝනෙය්‍ය යැ. කායපරිඥාව කායමෝනෙය්‍ය යැ. පරිඥාසහගත වූ මාර්‍ගය කායමෝනෙය්‍ය යැ. කයෙහි ඡන්‍දරාගය දුරු කිරීම කායමෝනෙය්‍ය යැ. කායසංස්කාර (=ආශ්වාසප්‍රශ්වාස)යන්ගේ නිරෝධය වූ චතුර්ත්ථධ්‍යානසමාපත්තිය කායමොනෙය්‍යය යි. මේ කායමෝනෙය්‍ය නමි.
වචීමොනෙය්‍ය කවරැ ? යත්: චතුර්විධ වාග්දුශ්චරිතයන්ගේ ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ. වාක්සුචරිතය - අනිත්‍යාදිවශයෙන් වාගාලම්බනයෙහි පැවැති ඥානය - ත්‍රිවිධ පරිඥාවශයෙන් වාක්පරිඥාව - පරිඥාසහගත මාර්‍ගය - වාක්හි ඡන්‍දරාගප්‍රහාණය - වාක්සංස්කාර (විතර්‍කවිචාර)යන්ගේ නිරෝධය වූ ද්විතීයධ්‍යානසමාපත්තිය වචීමොනෙය්‍ය යි. මේ වචීමොනෙය්‍ය නමි.
මනෝමෝනෙය්‍ය කවරැ ? යත්: ත්‍රිවිධ මනොදුශ්චරිතයන්ගේ ප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ, ත්‍රිවිධ මනස්සුචරිතය - චිත්තාලම්බනයෙහි පැවැති ඥානය - චිත්තපරිඥාව - පරිඥාසහගත වූ මාර්‍ගය - චිත්තයෙහි ඡන්‍දරාගප්‍රහාණය - චිත්තසංස්කාරයන් (=සංඥාවෙදනාවන්)ගේ නිරෝධය වූ සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය මනෝමෝනෙය්‍යය යි. මේ මනෝමෝනෙය්‍ය නමි.
1. කායදුශ්චරිතප්‍රහාණයෙන් කායමුනි වූ වාග්දුශ්චරිතප්‍රහාණයෙන් වාචාමුනි වූ මනොදුශ්චරිතප්‍රහාණයෙන් මනොමුනි වූ සර්‍වාකුශලප්‍රහාණයෙන් ඵලයෙහි සිටි හෙයින් මුනිභාවයෙන් යුක්ත වූවහු සියලු කෙලෙසුන් දුරු කළ හෙයින් ‘සබ්බප්පහායී’ යයි කියත්.
2. ... මාර්‍ගඥානයෙන් සියලු පව් ධොවනය කළ හෙයින් ‘නින්හාතපාපක’ යයි කියත්.
මේ ත්‍රිවිධ මෞනෙයධර්‍මයන්ගෙන් සමන්‍විත වූ අගාරමුනිහු යැ අනගාරමුනිහු යැ ශෛක්ෂමුනිහු යැ අශෛක්ෂමුනිහු යැ ප්‍රත්‍යෙකමුනිහු යැ මුනිමුනිහු යැයි ෂඩ්වීධමුනි කෙනෙක් වෙති. අගාරමුනිහු කවරහ යත්: ගිහිකම්හි යෙදුණු දුටු නිවන් ඇති දත් (ශික්ෂාමාත්‍රය සඞ්ඛ්‍යාත) තුන් සසුන් ඇත්තාහු අගාරමුනිහු යැ. අනගාරමුනිහු කවරහ යත්: පැවිදි වූ දුටුනිවන් ඇති දත් සසුන් ඇත්තාහු අනගාරමුනිහු යැ. සප්තශෛක්ෂයෝ සෙඛමුනිහු යැ. රහත්හු අසෙඛමුනිහු යැ. පසේබුදුහු පච්චෙකමුනිහු යැ. තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ මුනිමුනිහු යැයි කියනු ලැබෙත්.
3-4. සිස් පියවි ඇති අඥ (=නුවණ නැති) තෙනැත්තේ මෞනභාවයෙන් (=නො බිණීමෙන්) මුනි නම් නො වෙයි. තවද පණ්ඩිත වූ යමෙක් තුලාව (=තරාදිය) ගෙන (අධිකය හැර ඌනය පුරන්නාක් මෙන්) ශීලසමාධ්‍යාදි උතුම් දැය ගෙන පව් දුරු කෙරේ ද, එ කරුණෙන් හෙතෙම මුනි නම් වෙයි. යමෙක් ස්කන්ධාදිලොකයෙහි ආධ්‍යාත්මික බාහ්‍යස්කන්ධාදි උභයාර්‍ත්‍ථයන් දනී නම් එ කරුණෙන් හේ මුනී යයි කියනු ලැබේ.