2. 6.
සිඳීගිය දහර ඇති දියත්තෙක්හි පොපියන (සැලෙන) මසුන් මෙන් මාගේ යැයි ගන්නා ලද වස්තුයෙහි පොපියන සත්ත්වයන් බලවු. (මමායිත වස්තුයෙහි) තෙල ආදීනවය ද දැක මමායන රහිත වැ කාමාදිභවයෙහි නො ඇලෙමින් හැසිරෙන්නේ යි.
මමායිතෙ පස්සථ ඵන්දමානෙ - ‘මමත්තා’ යනු: තෘෂ්ණාමමත්වය ද, දෘෂ්ටිමමත්වය දැයි මමත්ව (ආලය) දෙකෙකි:
තෘෂ්ණාමමත්ව කවරැ? යත්: ‘මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මෙ පමණ මාගේ යැ’යි යම්තාක් තෘෂ්ණා කොටසින් හිම් කරන ලද ද, මර්ය්යාදා කරන ලද ද, අවධි කරන ලද ද, පරිච්ඡේද කරන ලද ද, අයත් කරන ලද ද, මමායන කරන ලද ද; ‘මාගේ රූපයෝ යැ ශබ්දයෝ යැ ගන්ධයෝ යැ රසයෝ යැ පහස්හු යැ අතුරුණු යැ පොරෝන යැ දැසිදස්හු යැ එළුබැටළු යැ හූරුකුකුළු යැ ඇත්අස්ගවවෙළඹු යැ කෙත් යැ වතු යැ අමුරනැ රත්රනැ ගම්නියම්ගම්රජදහන්හු යැ රට යැ දනවු යැ කොෂ යැ කොටුගුළු යැ’යි සියලු මැ මහපොළොව තෘෂ්ණාවශයෙන් මමායන කෙරෙයි. යම්තාක් අෂ්ටොත්තරශතතෘෂ්ණාවිචරිතයෙක් වේ ද, මේ යැ තෘෂ්ණාමමත්ව නම්.
දෘෂ්ටිමමත්ව කවරැ ? යත්: (‘රූපං අත්තනෝ සමනුපස්සති’ යනාදීන් සිටි) විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, (‘නත්ථි දින්නං’ යනාදීන් පැවැති) දශවස්තුක මිත්ථ්යාදෘෂ්ටි යැ, (‘සස්සතෝ ලෝකෝ’ යනාදි නයින් පැවැති) දශවස්තුක අන්තග්රාහිකා දෘෂ්ටි යැ යන මෙබඳු වූ දෘෂ්ටියක් දෘෂ්ටිගත යෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් (සම්යග්දෘෂ්ටිය විනිවිදින) දෘෂ්ටිවිශූකයෙක් දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණ දැඩි කොට) ගැනීමෙක් බලවත් ගැනීමෙක් (නිත්යාදිවශයෙන්) අභිනිවේශයෙක් පරාමර්ශයෙක් කුත්සිතමාර්ගයෙක් අයථාමාර්ගයෙක් මිත්ථ්යාස්මභාවයෙක් තීර්ත්ථායතනයෙක් විරුද්ධග්රාහයෙක් විපරීතග්රාහයෙක් විපර්ය්යාසග්රාහයෙක් මිත්ථ්යාග්රාහයෙක් අස්වභාවයෙහි ස්වභාව යැයි ගැනීමෙක් වේ ද, යම්තාක් දෙසැට මිසදිටු කෙනෙක් වෙත් ද, මේ යැ දෘෂ්ටිමමත්ව නම්.
මමායිතෙ පස්සථ ඵන්දමානෙ - මාගේ යැයි ගත් වස්තුව අසිඳ ගනිතියි සැක ඇති ව ද සැලෙති. අසිඳුනා කල්හි දු සැලෙති. අසිඳගත් කල්හි දු සැලෙත්. තවද මමායිත වස්තුව පෙරැළෙයි යන සැක ඇති ව ද සැලෙති. පෙරැළෙන කල්හි දු සැලෙති. පෙරැළුණු කල්හි දු සැලෙති, අතිශයින් සැලෙති, විවිධ ව සැලෙති, බියෙන් වෙවුළති, තැති ගනිති, ලොමුදහ ගනිත්. මෙසෙයින් සැලෙන විසැලෙන වෙවුළන තැති ගන්නා ලොමුදහ ගන්නා සත්ත්වයන් බලවු, දකිවු සිතවු විමසවු. එහෙයින් ‘මමායිතෙ පස්සථ ඵන්දමානෙ’ යනු වේ.
මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ - මඳ වූ කැලැඹුණු සිඳුණු දියෙහි කවුඩන් හෝ උස්සන් හෝ කොකුන් හෝ අන්ය පක්ෂි කෙනකුන් හෝ විසින් වෙහෙසනු ලබන නඟනු ලබන කනු ලබන (එහෙයින් ම) සැලෙන විසැලෙන වෙවුළන අතිශයින් වෙවුළන තැති ගන්නා මසුන් මෙන් මේ සත්ත්වයෝ මමායිත වස්තුව අසිඳගනිතී සැක ඇති ව සැලෙති, අසිඳුනා කල්හි දු සැලෙති, අසිඳගත් කල්හි දු සැලෙති, මමායිත වස්තුව විපරිණාම (=පෙරැළෙන) සැක ඇති ව... පෙරැළෙන කල්හි ... පෙරැළුණු කල්හි දු සැලෙති, විසැලෙති, වෙවුළති, තැතිගනිති, ලොමුදහ ගනිත් නුයි ‘මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ’ යනු වේ.
එතම්පි දිස්වා අමමො චරෙය්ය - මමත්වයෙහි තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත (=ප්රකට) කොට නුයි ‘එතම්පි දිස්වා අමමො චරෙය්ය’ යනු වේ. ‘මමත්තා’ යනු: තෘෂ්ණාමමත්වය ද දෘෂ්ටිමමත්වය දැයි මමත්ව දෙකෙකි... තෘෂ්ණාමමත්වය හැරැපියා, දෘෂ්ටිමමත්වය දුරු කොට, ඇස තෘෂ්ණාදෘෂ්ටි විසින් ආලය නො කරනුයේ කන... නැහැය... දිව... කය... සිත මමායන (=ආලය) නො කරනුයේ, රූප ශබ්ද ගන්ධ රස පහස් දහම් කුලය ගණයා ආවාසය ලාභය යසස පැසැසුම සුවය සිවුර පිඬුවා සෙනසුන ගිලන්පස බෙහෙත්පිරිකර, කාම - රූප - අරූපධාතුව, කාම - රූප - අරූප භවය, සඤ්ඤා - අසඤ්ඤා - නෙවසඤ්ඤානාසඤ්ඤාභවය, එකවොකාර - චතුවෝකාර - පඤ්චවෝකාරභවය, අතීතය අනාගතය ප්රත්යුත්පන්නය රූපායතනය, ශබ්දායතනය ගන්ධරසස්ප්රෂ්ටව්යායතනය ධර්මායතනය ආලය නො කරනුයේ නො ගන්නේ පරාමර්ශ නො කෙරෙමින් නො බස්මින් හැසිරෙන්නේ යැ... යපනය කරන්නේ නුයි ‘එතම්පි දිස්වා අමමො චරෙය්ය’.
භවෙසු ආසත්තිමකුබ්බමානො - ‘භවෙසු’ යනු: කාම - රූප - අරූප භවයෙහි; ‘ආසත්ති’ යී තෘෂ්ණාව කියනු ලබා. රාගය සංරාගය... අභිධ්යාව ලොභඅකුශලමුලය යි. ‘භවෙසු ආසත්තිමකුබ්බමානො’ යනු: ඡන්දය ප්රේමය රාගය කැමැත්ත නො කරනුයේ නූපදවනුයේ වෙසෙසින් නූපදවනුයේ නො නිපදවනුයේ නුයි ‘භවෙසු ආසත්තිමකුබ්බමානො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“මමායිතෙ -පෙ- ආසත්තිමකුබ්බමානො” යී.
2. 7.
(ඵස්ස - ඵස්සසමුදයාදි) දෙ දෙ අන්තයන්හි ඡන්දරාගය දුරු කොට (චක්ඛුසම්ඵස්සාදි) ස්පර්ශය ත්රිවිධ පරිඥායෙන් දැන රූපාදියෙහි ගිජු නො වූ කළ නො කළ හෙයින් තමහට ගරහ උපදවන කායදුශ්චරිත කායසුචරිතාදිය නො කරන ධීර (ප්රාඥ) තෙම රූප ශබ්ද (ගන්ධරසස්ප්රෂ්ටව්ය) ආයතනයන්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් නො ඇලේ.