2. 4.
යම් හෙයකින් සත්ත්ව තෙමේ ලෝකයෙහි යම්කිසි (නිරවශේෂ වූ) කායදුශ්චරිතාදි විෂමය (විෂම කරන හෙයින්) විෂමයෙකැයි දන්නේ නම්, එහෙයින් ඒ විෂම වූ කායකර්මාදියට හේතු වූ විෂමයෙහි නො හැසිරෙන්නේ යැ. යම් හෙයකින් ධීරයෝ මේ ජීවිතය අල්ප ය යි කියත් ද, එහෙයින් මේ ශාසනයෙහි මැ ත්රිවිධ ශික්ෂාවෙහි හික්මෙන්නේ යැ හෙවත් ත්රිවිධශික්ෂාව සමාදන් වැ පවත්නේ යි.
තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු - ‘තස්මා’ යනු: එහෙයින් ඒ කරුණෙන් ඒ හේතුවෙන් ඒ ප්රත්යයෙන් ඒ නිදානයෙන් පස්කම්හි තෙල ආදීනවය දක්නේ නුයි තස්මා යනු වේ. ‘සික්ඛෙථ’ යනු: අධිශීලශික්ෂා යැ, අධිචිත්තශික්ෂා යැ, අධිප්රඥාශික්ෂා යැයි ශික්ෂා තුනෙකි.
අධිශීලශික්ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවෘත වූයේ සිල්වත් වෙයි, ආචාර - ගෝචර දෙකින් යුක්ත වූයේ අණුමාත්ර වූ ද වරදෙහි භය දක්නාසුලු වූයේ වෙසෙයි. ශික්ෂාපදයන් - ශික්ෂාකොට්ඨාසයන් අතුරෙහි හික්මියැ යුතු සියලු ශික්ෂාව මොනොවට ගෙනැ හික්මෙයි. (සංඝාදිසෙසාදි සාවශෙෂ සඞ්ඛ්යාත) ක්ෂුද්රශීලස්කන්ධ යැ (පාරාජිකාදි නිරවශේෂ සඞ්ඛ්යාත) මහාශීලස්කන්ධ යැ යන ශීලය චාතුර්භූමකකුශලධර්මයන්ගේ ප්රතිලාභයට ප්රතිෂ්ඨා යැ ආදි යැ චරණ (-පාද) යැ සංයම යැ සංවර යැ උත්තම යැ ප්රමුඛ යි. මෝ අධිශීලශික්ෂා නමු.
අධිචිත්තශික්ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ වස්තුකාම - ක්ලෙශකාමයන්ගෙන් වෙන් ව මැ (ශෙෂනීවරණසඞ්ඛ්යාත) අකුශලධර්මයන් ගෙන් වෙන් ව මැ (අරමුණට සිත නගන) විතර්කය සමග පවත්නා වූ (අරමුණෙහි සිත හසුරුවන) විචාරය සමග පවත්නා වූ (නීවරණවිගමයෙන් වූ) විවේකයෙන් හෝ විවේකයෙහි උපන් ප්රීතිය හා සැපය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙයි. විතර්ක විචාර සන්හිඳීමෙන් ස්වකීය අධ්යාත්මයෙහි පැහැදීම ඇති සමාධිචිත්තයාගේ ශ්රේෂ්ඨ වූ උදය ඇති, හෙවත් (විතර්කවිචාරාභාවයෙන්) එකලා වැ සම්ප්රයුක්තධර්මයන් නඟාසිටුවන (භාවනාවෙන් ප්රහීණ හෙයින්) විතර්ක - විචාර රහිත වූ ප්රථමධ්යානසමාධියෙන් හෝ සම්ප්රයුක්තසමාධියෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති දෙවැනි දැහැනට පැමිණ වෙසෙයි. ප්රීතිය ද ඉක්මැවීමෙන් විතර්කවිචාරයන් ද සන්හිඳුවීමෙන් ධ්යානොපෙක්ෂා ඇති වැ වාසය කරන්නේ ද වෙයි, (ස්මරණලක්ෂණ) සිහි ඇති වැ (අසම්මොහලක්ෂණ) නුවණ ද ඇති වැ නාමකායසම්ප්රයුක්ත වූ සැපය (ධ්යානයෙන් නැඟීසිටිය ද) රූපකායයෙන් විඳී, යම් ධ්යානයක් හේතු කොටගෙන ‘උපෙක්ෂා ඇත්තේ යැ ස්මෘතිමත් යැ සුඛවිහරණ ඇත්තේ යැ’යි ආර්ය්යයෝ ප්රශංසා කෙරෙත් නම්, ඒ තුන්වැනි දැහැනට පැමිණ වෙසෙයි. පළමු උපචාරක්ෂණයෙහි මැ කායික සැපයත් කායික දුකත් ප්රහාණ කිරීමෙන් සොම්නස්දොම්නසුන් (=චෛතසික සැපදුක්) පළමු මැ අතුරුදහන් වීමෙන් දුක් නැති සැප නැති උපේක්ෂාවෙන් උපදවන ලද ස්මෘතිපාරිශුද්ධිය (පිරිසිදුසිහි) ඇති සිවුවැනි දැහැනට පැමිණ වෙසේ. මෝ අධිචිත්තශික්ෂා නමු.
අධිප්රඥා ශික්ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ උදයව්යය ගාමිනී වූ ආර්ය්ය (නිර්දෝෂ) වූ නිර්වෙදපක්ෂයෙහි වූ මනා සේ නිවනට පමුණුවන්නා වූ නුවණින් පරිපූර්ණ වූයේ ප්රඥාවත් වෙයි. හෙතෙම ‘මේ දුකැ’යි තතු සේ දැනගනි. මේ දුක්සමුදය යැයි තතු සේ දැනගනී. මේ දුක් නිරෝධය යැයි තතු සේ දැනගනී. මේ දුක් නිරෝධයට පමුණුවන පිළිවෙතැ’යි තතු සේ දැනගනී. මොහු ආස්රවයෝ යැයි තතු සේ දැනගනී. මේ ආස්රවසමුදය යැයි තතු සේ දැනගනී. මේ ආස්රවනිරෝධ යැයි තතු සේ දැනගනී. මේ ආස්රවනිරොධයට පමුණුවන පිළිවෙතැ’යි යැයි තතු සේ දැනගනී. මෝ අධිප්රඥාශික්ෂා නමු.