2. 3.
ඔහු ක්ලේශකාමයෙන් වස්තුකාමයෙහි ගිජු වූවාහු යෙදුණාහු සම්මෝහයට පැමිණියාහු නිරයට යන්නාහු මසුරු වූවාහු හෝ බුද්ධාදීන්ගේ අවවාද නො ගන්නාහු කායවිෂමාදි විෂමයෙහි පිහිටියාහු මරණදුකට පැමිණියාහු ‘මෙයින් සැව පරලොව ගියමෝ කුමක් වනුමෝ හො’යි පරිදේවනා කෙරෙත්.
කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා - ‘කාම’ නම් උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි. වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි ... මොහු වස්තුකාමයෝ යැයි කියනු ලැබෙත් ... මොහු ක්ලේශකාමයෝ යැයි කියනු ලැබෙත්. ගේධ යි තෘෂ්ණාව කියනු ලබා; යම් රාගයෙක් සංරාගයෙක් ... අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද, එය යි. ක්ලේශකාමයෙන් වස්තුකාමයන්හි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු බැසගත්තාහු ලැගුණාහු එක් වූවාහු හාත්පසින් බැඳුණාහු නුයි ‘කාමෙසු ගිද්ධා’ යනු වේ. පසුතා - යම් කෙනෙක් කාමයන් එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, ඒ කාමයන් පිණිස හැසිරෙන්නාහු තද්බහුල වූවාහු තද්ගුරුක වූවාහු ඊට නැමුණාහු ඊට නැඹුරු වූවාහු ඊට බර වූවාහු එහි වැතුරුණාහු එය අධිපති කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, ... ශබ්දයන් ... ගන්‍ධයන් ... රසයන් ... ස්ප්‍රෂ්ටව්‍යයන් එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, තච්චරිත තද්බහුල තද්ගුරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත වූවාහු තදාධිපත්‍ය කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් ලබත් ද, (අත්පත් කෙරෙත් ද) ... ස්ප්‍රෂ්ටව්‍යයන් තෘෂ්ණාවශයෙන් ලබත් ද, තච්චරිත ... තදධිපතිත්ව කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ; යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් පරිභෝග කෙරෙත් ද, ... ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරෙත් ද, තච්චරිත වූවාහු ... තදධිපතිත්ව කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම්සේ කලහ කරනුයේ කලහපසුත වේ ද, කර්‍මාන්ත කරනුයේ කම්මපසුත වේ ද, ගෝචරයෙහි හැසිරෙනුයේ ගොචරපසුත වේ ද, ධ්‍යාන ඇතියේ ඣානපසුත වේ ද, එසෙයින් මැ යම් කෙනෙක් කාමයන් එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙරෙත් නම්, ඒ පිණිස හැසිරෙත් නම්, එය බහුල කොට එය ගරු කොට ඊට නිම්න ව ඊට ප්‍රවණ ව ඊට බර ව එහි වැතිරැ එය අධිපති කොට වෙසෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ.
යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් ... පර්‍ය්‍යෙෂණ කෙරෙත් නම්, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ... සොයත් නම්, තච්චරිත තද්බහුල තද්ගුරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත වෙත් නම්, එය අධිපති කොට ඇත්තාහු නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් ප්‍රතිලාභ කෙරෙත් නම්, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ප්‍රතිලාභ කෙරෙත් නම්, තච්චරිත... තදධිමුක්ත වූවාහු තදධිපතිත්ව කොට ඇත්තාහු නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් පරිභෝග කෙරෙත් නම්, ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරෙත් නම්, තච්චරිත තද්බහුල තද්ගුරුක තන්නිම්න තත්ප්‍රවණ තත් ප්‍රාග්භාර තදධිමුක්ත වූවාහු තදධිපතිත්ව කොට ඇත්තාහු නම්, ඔහු ද කාමපසුතයෝ යි.
පමූළහා - දෙවිමිනිස්හු බෙහෙවින් පස්කම්ගුණයෙහි මුළා වෙති, වෙසෙසින් මුළා වෙති, සර්‍වාකාරයෙන් මුළා වෙත්. මූඪ වූවාහු ප්‍රමූඪ වූවාහු සම්මූඪ වූවාහු සම්ප්‍රමූඪ වූවාහු අවිද්‍යාවෙන් අන්‍ධ කරන ලද්දාහු අවුරන ලද්දාහු (ඇවුරුණාහු නැවැතුණාහු) වැතුරුණාහු වැසුණාහු පිළිසන් වූවාහු පිහිකුළු වූවාහු නුයි ‘කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා’ යනු වේ.
අවදානියා තෙ විසමෙ නිවිට්ඨා - ‘අවදානියා’ යනු: යටට (අපායට) යෙත් නුයි ද ‘අවදානිය’ නම් වෙත්: මසුරු වූවාහු ද ‘අවදානිය’ යි කියනු ලැබෙති. බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මඟ දෙසුම අනුසස්න නො ගනිත් නුයි ‘අවදානිය’ නම් වෙත්. කිසෙයින් අපායට යෙත් නුයි ‘අවදානිය’ නම් වෙති යත්: ‘අවං ගච්ඡන්ති’ (අපායට යෙති) යනු: නිරයට යෙති, තිරිසන්යෝනියට යෙති, ප්‍රේතවිෂයට යෙති; මෙසේ අපායට යෙත් නුයි ‘අවදානිය’ නම් වෙත්. කිසෙයින් මත්සරීහු (=මසුරෝ) ‘අවදානිය’ යි කියනු ලැබෙති යත්: මාත්සර්‍ය්‍ය පසෙක: ආවාසමාත්සර්‍ය්‍ය යැ, කුලමාත්සර්‍ය්‍ය යැ, ලාභමාත්සර්‍ය්‍ය යැ, වර්‍ණමාත්සර්‍ය්‍ය යැ, ධර්‍මමාත්සර්‍ය්‍ය යි. මෙ බඳු වූ යම් මසුරුකමක් මසුරුඅයුරක් මසුරුබවක් සිය සම්පත් සඟවනු කැමතිබවක් අනාර්‍ය්‍ය බවක් කටුක බැවින් සිත හකුළුවන බවක් සිත් නො ගත්බවක් වේ නම්, මෙය මාත්සර්‍ය්‍ය යි කියනු ලැබේ. තවද පඤ්චස්කන්‍ධයෙහි මසුරුබව ද ‘මච්ඡරිය’ නම, ධාතුමාත්සර්‍ය්‍ය ද ... ආයතනමාත්සර්‍ය්‍ය ද ‘මච්ඡරිය’ නම, ග්‍රාහය ද ‘මච්ඡරිය’ නමි. මෙය මාත්සර්‍ය්‍ය යි කියනු ලැබේ. මේ මාත්සර්‍ය්‍ය හේතුවෙන් බුදුවදන් නො දැනීමෙන් යුත් ජනයෝ ප්‍රමත්තයෝ යැ. මෙසෙයින් මත්සරීහු ‘අවදානිය’ යි කියනු ලැබෙත්. කිසෙයින් බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මග දෙසුම අනුසස්න නො ගනිත් නුයි ‘අවදානිය’ නම් වෙති යත්? බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මග දෙසුම අනුසස්න නො ගනිති, නො අසනු කැමති වෙති, කන නො නමති, දැනීමට සිත නො එළවති, අවවාද නො අසන්නාහු බස් පිළිගෙන නො කරන්නාහු පිළිලොම් වැ පවත්නාහු මුහුණ වෙනතක නමත්. මෙසෙයින් බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මග දෙසුම අනුසස්න නො ගනිත් නුයි ‘අවදානිය’ නම් වෙත්.