2. 2.
කාමතෘෂ්ණාව නිදාන කොට ඇති භවසුඛයෙහි බැඳුණු, යලි අනාගතයෙහි හෝ අතීතයෙහි හෝ වස්තුකාමයන් කැමැති වන, මේ ප්‍රත්‍යුත්පන්න කාමයන් හෝ යට දැක්වූ අතීතානාගතකාමයන් හෝ ප්‍රාර්‍ත්‍ථනා කරන ඒ සත්ත්‍වයෝ දුකසේ මිදියැ යුත්තාහ. අනෙකක්හු විසින් නො මැ මුදනු හැක්කාහු වෙත්.
ඉච්ඡානිදානා භවසාතබද්ධා - ‘ඉච්ඡා’ යි තෘෂ්ණාව කියනු ලබා: යම් රාගයෙක් සංරාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් නන්‍දියක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඉච්ඡාවක් මූර්ච්ඡාවක් අධ්‍යවසානයෙක් ගෙධයෙක් පරිගෙධයෙක් සඞ්ගයෙක් පඞ්කයෙක් එජාවක් මායාවක් (සසර උපදවන) ජනිකාවක් සංජනනියක් සීවනියක් (බැඳීමෙක්) ජාලිනියක් සරිතාවක් විසත්තිකාවක් (බඳනා හෙයින්) සූත්‍රයෙක් (රූපාදියෙහි පතළ හෙයින්) විසතාවක් අයූහනය කරවීමෙක් ද්විතීයාවක් ප්‍රණිධියක් භවනෙත්තියක් (ගහනහෙයින්) වනයෙක් වනථයෙක් තෘෂ්ණාසන්ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂාවක් (අරමුණෙහි බඳනා හෙයින්) ප්‍රතිබන්‍ධුයෙක් ආශාවක් ආශංසනාවක් ආශංසිත බවෙක් රූපාශාවක් ශබ්දාශාවක් ගන්ධාශාවක් රසාශාවක් ස්ප්‍රෂ්ටව්‍යාශාවක් ලාභාශාවක් ධනාශාවක් පුත්‍රාශාවක් ජීවිතාශාවක්, (තෘෂ්ණා වශයෙන්) ජල්පනයෙක් ජල්පනාකාරයෙක් ජල්පිත බවෙක් ලොල් බවෙක් ලෞල්‍යාකාරයෙක් ලෞල්‍යසමඞ්ගී බවෙක් පුච්ඡඤ්චික (නඟුට සලන = ලාභයෙහි සැලෙන) බවෙක් මධුරකාම්‍යතාවක්, අධර්‍මරාගයෙක් විෂමලොභයෙක් නිකාන්තියෙක් කැමැතිවන ආකාරයෙක් ප්‍රාර්‍ත්‍ථනාවක් පිහායනයෙක් සම්ප්‍රාර්ථනාවක්, කාමතෘෂ්ණාවක් භවතෘෂ්ණාවක් විභවතෘෂ්ණාවක් රූප (භව) තෘෂ්ණාවක් අරූපතෘෂ්ණාවක් නිරොධතෘෂ්ණාවක්, රූප (යෙහි) තෘෂ්ණාවක් ශබ්දතෘෂ්ණාවක් ගන්ධතෘෂ්ණාවක් රසතෘෂ්ණාවක් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාවක් ධර්‍මතෘෂ්ණාවක්, (තෘෂ්ණා) ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලෙශයෙක් අනුශයයෙක් පර්‍ය්‍යුත්‍ථානයෙක් ලතාවක් විවිධෙච්ඡාවක්, දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබලිසයෙක් මාරවිෂයයෙක් තෘෂ්ණානදියක් තෘෂ්ණාජාලයෙක් තෘෂ්ණාගර්දූලයෙක් තෘෂ්ණාසමුද්‍රයෙක්, අභිධ්‍යාවක් විෂමලොභයෙක් අකුශලමූලයෙක් වේ ද එය යි.
ඉච්ඡානිදානා - ඉච්ඡාව නිදාන කොට ඇත්තාහු ඉච්ඡාව හේතු කොට ඇත්තාහු ඉච්ඡාව ප්‍රත්‍යය කොට ඇත්තාහු ඉච්ඡාව කාරණ කොට ඇත්තාහු ඉච්ඡාව ප්‍රභව කොට ඇත්තාහු නුයි ‘ඉච්ඡානිදාන’ නම් වෙත්.
භවසාතබද්ධා - සුඛවේදනාව එක් භවසාතයෙක, සුඛවේදනාව ද ඉෂ්ටවස්තුව දැයි භවසාත දෙකෙක. යෞවනය ආරෝග්‍යය හා ජීවිතය (ජීවිතේන්‍ද්‍රිය පවත්නා බව) දැයි භවසාත තුනෙක. ලාභ යැ යශස් යැ ප්‍රශංසා යැ සුඛ යැයි භවසාත සතරකෙ, මනාපික (මනවඩන) රූප යැ මනාපික ශබ්ද යැ මනාපික ගන්‍ධ යැ මනාපික රස යැ මනාපික ස්ප්‍රෂ්ටව්‍ය යැයි භවසාත පසෙක, චක්ෂුඃසම්පත් යැ ශ්‍රොතසම්පත් යැ ඝ්‍රාණසම්පත් යැ ජිහ්වාසම්පත් යැ කායසම්පත් යැ මනස්සම්පත් යැයි භවසාත සයෙකි. භවසාතබද්ධා - සුඛවේදනාවෙන් ඉෂ්ටවස්තුයෙහි සත්ත්‍වයෝ බඳනා ලද්දාහ, යෞවනයෙහි බද්ධයහ, ආරෝග්‍යයෙහි බද්ධයහ, ජීවිතයෙහි - ලාභයෙහි - යශස්හි - ප්‍රශංසායෙහි - සුඛයෙහි බද්ධයහ, මනාපිකරූපයන්හි බද්ධයහ, මනාපික ශබ්ද - ගන්‍ධ - රස - මනාපික ස්ප්‍රෂ්ටව්‍යයන්හි බද්ධයහ, චක්ෂුඃසම්පත්හි බද්ධයහ, ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පත්හි බද්ධයහ, වෙසෙසින් බැඳුණාහ. හාත්පසින් බැඳුණාහ, ලග්න වූහ, ලගිත වූහ, පරිබද්ධ වූවාහු නුයි ‘ඉච්ඡානිදානා භවසාතබද්ධා’ යනු වේ.
තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා - භවයෙහි ආස්වාදවස්තු වූ ඒ ධර්‍මයෝ හෝ දුකසේ හළ යුත්තාහ. සත්ත්‍වයෝ මැ හෝ තෙල භවසාත වස්තුහු කෙරෙන් දුර්මොචයෝ යි. ඒ භවයෙහි සාතවස්තුහු දුකසේ හළ යුත්තාහ කිසෙයින යත්: සුඛවේදනාව දුකසේ මිදිය යුත්තී යැ, ඉෂ්ටවස්තුව දුකසේ හළ යුතු යැ, යෞවනය - ආරෝග්‍යය - ජීවිතය - ලාභය - යශස් - ප්‍රශංසාව - සුඛය දුකසේ හළ යුතු යැ, මනාපික රූපයෝ දුස්ප්‍රමුව්‍යයෝ යැ, මනාපික ශබ්දයෝ - ගන්‍ධයෝ - රසයෝ - ස්ප්‍රෂ්ටව්‍යයෝ දුස්ප්‍රමුව්‍යයහ, චක්ෂුස්සම්පද් දුස්ප්‍රමුව්‍ය යැ, ශ්‍රෝත්‍ර - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පද් දුස්ප්‍රමුව්‍ය යැ, දුර්මොච යැ, දුර්නිවෙෂ්ට යැ, දුර්විනිවෙෂ්ට යැ, දුස්තර යැ, දුස්ප්‍රතර යැ, දුස්සමතික්‍රම යැ, දුර්විනිවර්‍ත යි. මෙසේ ඒ භවසාත වස්තූහු දුකසේ මිදියැ යුත්තාහ.
සත්ත්‍වයෝ තෙල වස්තුයෙන් දුකසේ මිදියැ යුත්තාහු කිසෙයින යත්: සුඛවේදනායෙන් සත්ත්‍වයෝ දුකසේ මිදියැ යුත්තාහ, ඉෂ්ටවස්තුහු කෙරෙන් - යෞවනයෙන් - ආරොග්‍යයෙන් - ජීවිතයෙන් - ලාභයෙන් - යශසින් - ප්‍රශංසායෙන් - සුවයෙන් දුකසේ මිදිය යුත්තාහ, මනවඩන රූපයෙන් - ශබ්දයෙන් - ගන්‍ධයෙන් - රසයෙන් - ස්ප්‍රෂ්ටව්‍යයෙන් දුර්මොචයෝ යැ, චක්ෂුස්සම්පත්තියෙන් - ශ්‍රෝත්‍ර - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පත්තියෙන් දුර්මෝචයෝ යැ, අතිශයින් නොමිදිය හැක්කාහ, නො නැඟිය හැක්කාහ, අතිශයින් නො නඟා සිටුවිය හැක්කාහ, දුර්නිවෙෂ්ටයෝ යැ, දුර්විනිවෙෂ්ටයෝ යැ, දුස්තරයෝ යැ, අතිශයින් දුස්තරයෝ යැ, නො ඉක්මවිය හැක්කාහ, නො නැවැත්විය හැක්කාහුයැ. මෙසේ සත්ත්‍වයෝ තෙල සාතවස්තු කෙරෙන් නො මිදිය හැක්කාහු නුයි ‘තෙ දුප්පමුඤ්චා’ යනු වේ.
න හි අඤ්ඤමොක්ඛා - ඔවුහු තමන් මහමඩෙහි ගැලුණාහු මහමඩෙහි ගැලුණු අනෙකක්හු නගාසිටුවන්නට නො හැකි වෙත්.