16. 8.
ඒ මහණ තෙමේ එකඟ වූ සිත් ඇතියේ (පාරිහාරියප්‍රඥාවෙන්) ප්‍රඥාවත් වූයේ ස්මෘතිමත් වූයේ කවර ශික්‍ෂාවක් සමාදන් වැ, කඹුරු තෙමේ ජාතරූපයාගේ මලය මෙන් තමාගේ කෙලෙස් මලය පිඹැ හරනේ ද?
කං සො සික්ඛං සමාදාය - ඒ මහණ තෙමේ කවර ශික්‍ෂාවක් ගෙන සමාදන් වැ ආදානය කොට සමාදානය කොට ග්‍රහණය කොට පරාමර්‍ශ කොට අභිනිවේශ කොට නුයි ‘කං සො සික්ඛං සමාදාය’ යනු වේ.
ඒකෝදි නිපකො සතෝ - ‘ඒකෝදි’ යනු: එකඟ වූ සිත් ඇතියේ නො විසුරුණු සිත් ඇතියේ, උඩඟු නො වූ සිත් ඇතියේ, ශමථය සමාධීන්‍ද්‍රිය සමාධිබලය … සම්‍යක්සමාධිය ඇතියේ; නිපකො යනු: නිපක වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැතියේ තීරණප්‍රඥා ඇතියේ ධාරණප්‍රඥා ඇතියේ; සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ රූපකායයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි - චිත්තයෙහි - පඤ්චස්කන්‍ධාදි ධර්‍මයන්හි ධම්මානුපස්සනාසතිපට්ඨානය වඩමින් ස්මෘතිමත් වූයේ; හෙ තෙමෙ සිහි ඇතියේ යයි කියනු ලැබේ නුයි ‘සතෝ’ යනු වේ.
කං සො සික්ඛං සමාදාය යී - අධිශීලශික්‍ෂාව විචාරයි. නිපකො යී අධිප්‍රඥාශික්‍ෂාව විචාරයි, සතොයී පාරිශුද්ධිය විචාරා නුයි ‘කං සො සික්ඛං සමාදාය ඒකෝදි නිපකො සතෝ’ යනු වේ.
කම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො - රන්කරු තෙමෙ ‘කම්මාර’ යී කියනු ලැබෙයි. ජාතරූපය ‘රජත’ යී කියනු ලැබේ. යම්සේ රන්කරුවෙක් ජාතරූපයාගේ ඖදාරික වූ මලය බැහැර කෙරේ ද, මැනැවින් බැහැර කෙරේ ද, නිරවශේෂයෙන් බැහැර කෙරේ ද; මධ්‍යම වූ මලයත් ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරේ ද, සියුම් වූ මලයත් බැහැර කෙරේ ද, මැනැවින් බැහැර කෙරේ ද, නිරවශේෂයෙන් බැහැර කෙරේ ද, එසෙයින් ම මහණ තෙමේ තමාගේ ඖදාරික වූ ක්ලේශයන් ද බැහැර කෙරෙයි, මැනැවින් බැහැර කෙරෙයි, නිරවශේෂයෙන් බැහැර කෙරෙයි; දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනුඅභාවයට පමුණුවයි.
මධ්‍යම වූ ක්ලේශයන් ද - සියුම් වූ ක්ලේශයන් ද ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. නොහොත් මහණ තෙමේ තමාගේ ප්‍රඥාලෝකය නසන ප්‍රඥාචක්‍ෂුස නො කරන නො දැනීම කරන පැනැස නසන පීඩාකොටසෙහි වූ අමාමහනිවන පිණිස නො පවත්නා වූ රාගමලය ද්වෙෂමලය මොහමලය මානමලය දෘෂ්ටිමලය ක්ලෙශමලය දුශ්චරිතමලය බැහැර කෙරෙයි, වෙසෙසින් බැහැර කෙරෙයි, නිරවශේෂයෙන් බැහැර කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. නොහොත් (විදර්‍ශනා සහිත මාර්‍ගසම්ප්‍රයුක්ත) සම්‍යග්දෘෂ්ටියෙන් මිත්‍ථ්‍යාදෘෂ්ටිය ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. සම්‍යක්සංකල්පයෙන් මිත්‍ථ්‍යාසඞ්කල්පය - සම්‍යග්වචනයෙන් මිත්‍ථ්‍යාවචනය - සම්‍යක්කර්‍මාන්තයෙන් මිත්‍ථ්‍යාකර්‍මාන්තය - සම්‍යගාජීවයෙන් මිත්‍ථ්‍යාජීවය - සම්‍යග්ව්‍යායාමයෙන් මිත්‍ථ්‍යාව්‍යායාමය - සම්‍යක්ස්මෘතියෙන් මිත්‍ථ්‍යාස්මෘතිය - සම්‍යක්සමාධියෙන් මිත්‍ථ්‍යාසමාධිය - සම්‍යග්ඥානයෙන් මිත්‍ථ්‍යාඥානය - සම්‍යග්විමුක්තියෙන් මිත්‍ථ්‍යාවිමුක්තිය ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. නොහොත් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලේශයන් සියලු දුශ්චරිතයන් සියලු දරථයන් සියලු පරිදාහයන් සියලු සන්තාපයන් සියලු අකුශලාභිසංස්කාරයන් බැහැර කෙරෙයි, වෙසෙසින් බැහැර කෙරෙයි, නිරවශේෂයෙන් බැහැර කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවා නුයි ‘කම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො’ යනු වේ.
එයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
“කං සො සික්ඛං සමාදාය -පෙ- නිද්ධමෙ මලමත්තනො” යී.
16. 9.
(ශාරීපුත්‍රය යී බුදුහු මෙසේ වදාළහ) ජාත්‍යාදියෙන් පිළිකුල් කරන්නා වූ ඒකාන්තයෙන් විවික්තාසනය ශයනය සෙවුණා වූ (සතර මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) සම්බෝධිය කැමැත්තා වූ මහණ හට යම් ඒ ඵාසුවිහරණයෙක් වේ ද, යම් අනුධර්‍මයකුත් වේ ද, එය තොපට (ප්‍රත්‍යක්‍ෂ කොට) දතුවකු සෙයින් ප්‍රකාශ කරන්නෙමි.
විජිගුච්ඡමානස්ස යදිදං ඵාසු - ‘විජිගුච්ඡමානස්ස’ යනු: ජාතියෙන් ජුගුප්සා කරන්නහුට, ජරාවෙන් - ව්‍යාධියෙන් - මරණයෙන් - ශෝකයෙන් - පරිදේවයෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් … දෘෂ්ටිව්‍යසනයෙන් වූ දුකින් ජුගුප්සා කරන්නහුට දුක් වන්නහුට ලජ්ජා වන්නහුට නුයි ‘විජිගුච්ඡමානස්ස’ යනුවේ. යදිදං ඵාසු යනු: යම් ඵාසුවිහරණයෙක් වේ නම්, එය කියන්නෙමි. ඵාසුවිහරණය කවරැ යත්: සම්‍යක්ප්‍රතිපත්ති යැ අනුලොමප්‍රතිපත්ති යැ අවිරුද්ධප්‍රතිපත්ති යැ අන්වර්‍තථප්‍රතිපත්ති යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යැ ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පරිපූර්‍ණකාරී බව යැ ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇති බව යැ භෝජනයෙහි පමණ දන්නා බව යැ නිදි දුරු කිරීමෙහි යෙදීම යැ ස්මෘතිසම්ප්‍රඥානය යැ සතර සතිපට්ඨානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්ච බලයෝ යැ සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ නිර්‍වාණය ද නිර්‍වාණගාමිනී ප්‍රතිපත්තිය ද යන මේ ඵාසුවිහරණය නුයි ‘විජිගුච්ඡමානස්ස යදිදං ඵාසු’ යනු වේ.