16.
සාරිපුත්තසූත්රනිර්දේශය
ඉක්බිති සාරිපුත්තසූත්රනිර්දෙශය කියනු ලැබේ.
16. 1.
(ආයුෂ්මත් ශාරිපුත්රයෝ මෙසේ වදාළහ:) මෙසේ මිහිරි වදන් ඇති තුෂිත දෙව්ලොවින් සැව මවුකුසට පැමිණි, නොහොත් දෙව්ලොවින් ගණ මැදට පැමිණි, හෝ රහත්ගණයා මැදට පැමිණි, නොහොත් රහතුන්ගේ ගණාචාර්ය්ය බවට පැමිණි ශාස්තෲහු මෙයින් පෙර මා විසින් නො දක්නා ලදහු වෙති (පෙර මේ දර්ශනය නො වී යැ යි සේ යැ.) නොහොත් කිසිවක්හු ගේ බසින් නො අසන ලදහු වෙත්.
න මෙ දිට්ඨො ඉතො පුබ්බේ - මෙයින් (මේ සංකස්ස නගරයට බැසීමෙන්) පෙර මෙ - මා විසින් ඒ බුදුහු මේ ඇසින් මේ අත්බවින් නො දුටුවිරූහ. යම් දවසෙක බුදුහු තව්තිසාබවනෙහි පරසතුමුල පඬුඇඹුල් සලයෙහි වස් විසූ සේක් දෙව්ගණා විසින් පිරිවරන ලද්දාහු මැද මිණිමුවා හිණින් සකස්පුරට බටුවාහු ද, මේ දර්ශනය මිස පෙර නො දුටුවිරූහු නුයි ‘න මෙ දිට්ඨො ඉතො පුබ්බේ’ යනු වේ.
ඉච්චායස්මා සාරිපුත්තො - ‘ඉච්ච’ යනු: පදසන්ධි යැ, පදසංසර්ග යැ, පදපරිපූර්ණතා යැ, අක්ෂරසමවාය යැ, ව්යඤ්ජනශ්ලිෂ්ටතා යැ, පදානුපූර්වතා යැ, තෙල ‘ඉච්ච’ යනු. ආයස්මා යනු: ප්රියවචන යැ, ගරුවචන යැ, සගෞරව සප්රතිශ්රයවචනයෙකි, තෙල ‘ආයස්මා’ යනු. සාරිපුත්තො යනු: ඒ තෙරණුවන්ගේ නම් යැ, සඞ්ඛ්යා යැ, සංඥා යැ,ප්රඥප්ති යැ, ව්යවහාර යැ, නාම යැ, නාමකර්ම යැ, නාමධෙය යැ, නිරුක්ති යැ, බ්යඤ්ජන ය, අභිලාප නුයි ‘ඉච්චායස්මා සාරිපුත්තො’ යනු වේ.
න සුතො උද කස්සචි - ‘න’ යනු: ප්රතික්ෂේප යැ; උද යනු: පදසන්ධි යැ, පදසංසර්ග යැ, පදපාරිපූරි යැ, අක්ෂරසමවාය යැ; ව්යඤ්ජනශ්ලිෂ්ටතා යැ, පදානුපූර්වතා යැ, තෙල ‘උද’ යනු: කස්සචි - කිසිවක්හුගේ (බසින්) ක්ෂත්රියයකුගේ හෝ බ්රාහ්මණයකුගේ හෝ වෛශ්යයකුගේ හෝ ශුද්රයකුගේ හෝ ගෘහස්ථයකුගේ හෝ ප්රව්රජිතයකුගේ හෝ දෙවියකුගේ හෝ මනුෂ්යයකුගේ හෝ නුයි ‘න සුතො උද කස්සචි’ යනු වේ.
එවං වග්ගුවදො සත්ථා - මෙසේ මනහර වදන් ඇති මිහිරි වදන් ඇති පෙම් වඩන වදන් ඇති සිත් ගන්නා වදන් ඇති කුරවිනද සෙයින් මනහර ගොස ඇතියේ; ඒ බුදුන්ගේ මුවින් අෂ්ටාඞ්ගසමන්වාගත වූ ඝෝෂය නික්මෙයි: නො පැකිළෙනුයේ ද, මැනවින් දත හැක්කේ ද, මධුර වූයේ ද, කනට සුව වූයේ ද, හැසුණේ ද, නො පැතුරුණේ ද, ගැඹුරු වූයේ ද, නිනද ඇත්තේ ද වේ. තවද ඒ බුදුහු පිරිස් පමණින් ස්වරයෙන් හඟවාලන සේක. ඒ බුදුන්ගේ ඝෝෂය පිරිසෙන් බැහැර නො නික්මේ. තවද ඒ බුදුහු බඹගොස ඇත්තාහු කුරවිකොවුල්හඬ මෙන් මිහිරි වදන් ඇති සේක් නුයි ‘එවං වග්ගුවදො’ යනු වේ. සත්ථා යනු: බුදුහු ශාස්තෘ වූහ, සාත්තුනායකයකු වැන්නහ. යම්සේ සාත්තුනායක සත්ත්වයන් කාන්තාරය තරණය කරවා ද, දුර්භික්ෂකාන්තාරය තරණය කරවා ද, නිරුදකකාන්තාරය තරණය කරවා ද, එතෙර කරවා ද, නිස්තරණය කරවා ද, ප්රතරණය කරවා ද, නිර්භය භූමියට පමුණුවා ද; එලෙසින් මැ බුදුහු සාර්ත්ථවාහ වූ සේක් වෛනෙයසත්ත්වයන් කතරින් තරවන සේක්, ජාතිකාන්තාරය තරණය කරවන සේක, ජරාකාන්තාරය තරණය කරවන සේක, ව්යාධිකාන්තාරය … මරණ - ශෝක - පරිදේව - දුඃඛ - දෞර්මනස්ය - උපායාස කාන්තාරය තරවන සේක, රාගකාන්තාරය තරවන සේක, ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - දුශ්චරිතකාන්තාරය තරවන සේක, රාග නමැති ගහනය තරවන සේක, ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි නමැති ගහනය තරවන සේක, ක්ලේශගහනය - දුශ්චරිතගහනය තරවන සේක, උත්තරණය නිස්තරණය ප්රතරණය කරවන සේක, නිර්භය වූ අමාමහනිවනට පමුණුවන සේක් නුයි මෙසේත් ‘බුදුහු සාර්ත්ථවාහ’ යැ. නොහොත් බුදුහු (නිවනට පමුණුවනුයෙන්) නේතෘ වන සේක, (දර්ශනකාලයෙහි සංවර - ප්රහාණ විනය වශයෙන් වෛනෙයයනට) විනේතෘ වන සේක, දෙශනාකාලයෙහි (සැක සිඳින හෙයින්) අනුනෙතෘ වන සේක, (සැක සිඳ අර්ත්ථය) පනවන සේක, (පැනවූ අර්තථයන්) නිශ්චය කරවන සේක, (පිළිවෙත්) දක්වන සේක, (ප්රතිපත්තිඵලයෙන්) පහදවන සේක් නුයි මෙසේත් බුදුහු ‘සාර්ත්ථවාහ’ යැ. නොහොත් බුදුහු (පෙර ස්වසන්තානයෙහි) නූපන්විරූ ආර්ය්යමාර්ගය ඉපදවූ සේක, (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාතමාර්ගය උපදවන සේක, ප්රකාශ නො කළ මාර්ගය (විවරණ දීම් වශයෙන්) ප්රකාශ කරන සේක, (ප්රත්යවේක්ෂා වශයෙන්) මාර්ගය දන්නා සේක, (වෛනෙයසන්තානයෙහි ඉපැදවියයුතු ආර්ය්යමාර්ගය) දන්නාසුලු සේක, (බෝසත්නට පැවැසිය යුතු) මාර්ගයෙහි විචක්ෂණ වූ සේක. තවද ඒ බුදුන් විසින් හෙළිකළ මාර්ගය හේතු කොට මෙ කල්හි මාර්ගය අනුව යන ශ්රාවකයෝ (ශීලාදිගුණයෙන්) පසුපස යෙමින් වෙසෙත් නුයි මෙසේත් බුදුහු ‘සාර්ත්ථවාහ’ වූහ’ යි ‘එවං වග්ගුවදො සත්ථා’ යනු වේ.