16. 6.
මහණ තෙම වනකෙළවර සෙනසුන්හි යම් උපද්රව කෙනකුන් මැඩපවත්වන්නේ නම්, නො ගියවිරූ අමාමහනිවන් දෙසට යනුවහුට ලොවැ කෙතෙක් උපද්රවයෝ වෙත් ද?
කති පරිස්සයා ලෝකේ - ‘කති’ යනු ඒ උවදුරු කීයක් ද? කෙතෙක් ද? කිපමණ ද? කිපමණ බොහෝ ද යත්: උපද්රවයෝ දෙදෙනෙකි: ප්රකට උපද්රවයෝ ද ප්රතිච්ඡන්න උපද්රවයෝ දැයි.
ප්රකට උපද්රවයෝ කවරහ යත්: සිහ යැ වග යැ දිවි යැ වලස් යැ තරස් යැ වෘක යැ මිහි යැ ඇත් යැ නාග යැ නුහුසු යැ සියපා යැ කළ සොරකම් ඇති හෝ නැති හෝ සොරු හෝ සැහැසි මිනිස්සු වන්නාහු ය, චක්ෂුරොග යැ ශ්රෝත්රරෝග යැ ඝ්රාණරොග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්ෂරොග යැ කර්ණරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාස යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්ෂිරොග යැ මුර්ඡා යැ රක්තාතීසාර යැ ආමශූල යැ මහාවිරෙචන යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාස යැ ක්ෂයරොග යැ අපස්මාර යැ දද්රැ යැ කණ්ඩුති යැ කුෂ්ට යැ නියහිරි යැ අතුල්පතුල් පැළීම යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්ශස් යැ පොළ යැ භගන්දරා යැ පිත්තසමුත්ථාන ආබාධ යැ … ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්රස්රාව යැ මැසිමදුරු - වා අව් දික්දෑපහස්හු යි; මොහු ප්රකට උපද්රවයෝ යයි කියනු ලැබෙත්.
ප්රතිච්ඡන්න උපද්රවයෝ කවරහ යත්: කායදුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ, කාමච්ඡන්දනීවරණ යැ, ව්යාපාදනීවරණ යැ, ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ රාග යැ ද්වේෂ යැ මෝහ යැ ක්රෝධ යැ බද්ධවෛර යැ මකුබව යැ යුගග්රාහ යැ ඊර්ෂ්යා යැ මාත්සර්ය්ය යැ මායා යැ ශඨබව යැ ස්තම්භ යැ සාරම්භ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්රමාද යැ සියලු ක්ලේශයෝ යැ, සියලු දුශ්චරිතයෝ යැ, සියලු දරථයෝ යැ, සියලු පරිදාහයෝ යැ, සියලු සන්තාපයෝ යැ, සියලු අකුශලාභිසංස්කාරයෝ යි. මොහු ප්රතිච්ඡන්න උපද්රවයෝ යයි කියනු ලැබෙත්.
පරිස්සයා - යනු: කවර අර්තථයෙකින් ‘පරිස්සය’ වූහ යත්: පරිසහනය කෙරෙත් නුයි පරිශ්රයෝ යැ පරිහාණයට වැටැත් නුයි පරිශ්රයයෝ යැ එහි වෙසෙත් නුයි පරිශ්රයයෝ යැ. කිසෙයින් පරිසහනය කෙරෙත් නුයි පරිශ්රය වූහ යත්: ඒ උපද්රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, හාත්පසින් සහනය කෙරෙති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් ගනිති, මර්දනය කෙරෙත්; මෙසේ පරිසහනය කෙරෙත් නුයි පරිශ්රය වෙත්. කිසෙයින් පරිහාණයට වැටෙත් නුයි ‘පරිශ්රය’ වූහ යත්: ඒ උපද්රවයෝ කුශලධර්මයන්ගේ අන්තරාය පිණිස පිරිහීම් පිණිස පවත්නාහුය; කවර කුශලධර්මයන් ගේ ද යත්: සම්යක්ප්රතිපත්තිය අනුලෝම ප්රතිපත්තිය අවිරුද්ධ ප්රතිපත්තිය අන්වර්තථප්රතිපත්තිය ධර්මානුධර්මප්රතිපත්තිය ප්රාතිමෝක්ෂ ශීලයෙහි පරිපූරකාරිත්වය ඉන්ද්රියයන්හි පියු දොර ඇති බව භෝජනයෙහි පමණ දන්නා බව නිදි දුරු කිරීමෙහි යෙදීම ස්මෘතිසම්ප්රඥානය සතර සතිපට්ඨානභාවනාවෙහි යෙදීම සතර සම්යක්ප්රධානය සතර ඍද්ධිපාදය පඤ්චේන්ද්රියය පඤ්ච බලය සප්ත බෝධ්යඞ්ගය ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගභාවනානුයොගය යන මේ කුශලධර්මයන්ගේ අන්තරාය පිණිස පරිහාණය පිණිස පවත්නාහු ය. මෙසේ පරිහාණයට වැටෙත් නුයි ‘පරිශ්රය’ නම් වෙත්.
කිසෙයින් තත්රාසය (-එහි වෙසෙත්) නුයි පරිශ්රය වූහ යත්: එ ආත්මභාවයෙහි තෙල ලාමක අකුශලධර්මයෝ ආත්මභාවය ඇසුරු කොට උපදිත්: යම්සේ බිලාශ්රය ප්රාණීහු බිලයෙහි වෙසෙත් ද, දිය ඇසුරු කරන ප්රාණීහු දියෙහි හොවිත් ද, වනය ඇසුරු කරන ප්රාණීහු වෙනෙහි හොවිත් ද, රුක ඇසුරු කරන ප්රාණීහු රුකෙහි හොවිත් ද, එපරිද්දෙන් ම ඒ ආත්මභාවයෙහි තෙල ලාමක අකුශලධර්මයෝ ආත්මභාවය ඇසුරු කොට උපදනාහු වෙත් නුයි මෙසේත් තත්රාසය නුයි ‘පරිශ්රය’ නම් වෙත්.
මේ වදාරන ලද මැ යැ භාග්යවත්හු විසින්:
“මහණෙනි, සාන්තේවාසික වූ ( -අතැවැසි කෙලෙසුන් සමඟ වසන) මහණ තෙමේ දුකසේ නො සුවසේ වෙසෙයි. මහණෙනි, කිසෙයින් සාන්තේවාසික වූ සාවාර්ය්යක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි යත්:
මහණෙනි, මෙහි මහණක් හට ඇසින් රූපයක් දැක (නොයෙක් අරමුණෙහි හැසිරීම් වශයෙන් උපන්) සඞ්කල්පනා ඇති සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්ම කෙනෙක් උපදනාහු නම්, ඒ ලාමක අකුශලධර්මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති, ඔහුගේ සන්තානය අනුව ගොස් වෙසෙත් නුයි එහෙයින් ‘සාන්තේවාසික’ යී කියනු ලැබෙයි. ඒ ලාමක අකුශලධර්මයෝ ඒ පුද්ගලයා හසුරුවති, ඔහු කෙරෙහි පවතිත් නුයි එහෙයින් ‘සාචරියක’ යි කියනු ලැබේ. නැවත ද මහණෙනි, මහණ හට කනින් ශබ්දයක් අසා නැහැයෙන් ගඳක් ආඝ්රාණය කොට - දිවින් රසයක් විඳ - කයින් පහසක් පැහැස - මනසින් දහමක් දැන අරමුණෙහි හැසිරීමෙන් උපන් සඞ්කල්පනා ඇති සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්ම කෙනෙක් උපදනාහු නම්, ඒ ලාමක අකුශලධර්මයෝ ඔහු ගේ සිත තුළ වෙසෙති, ඔහු ගේ සන්තානය අනුව ගොස් වෙසෙත් නුයි එහෙයින් ‘සාන්තේවාසික’ යී කියනු ලැබෙයි. ඒ ලාමක අකුශලධර්මයෝ ඒ පුද්ගලයා හසුරුවති, ඔහු කෙරෙහි පවතිත් නුයි එහෙයින් ‘සාචරියක’ යී කියනු ලැබේ. මහණෙනි, මෙ පරිද්දෙන් මහණ තෙමේ සාන්තේවාසික වූයේ සාචරියක වූයේ දුකසේ නො සුවසේ වෙසේ” යයි. මෙසේත් තත්රාසය නුයි ‘පරිශ්රය’ නම් වෙත්.
මේ වදාරන ලද මැයැ බුදුන් විසින්:
“මහණෙනි, මේ ඇතුළත මලයෝ ඇතුළත අමිත්රයෝ ඇතුළත සතුරෝ ඇතුළත වධකයෝ ඇතුළත පසමිතුරෝ තිදෙනෙක් වෙති: කවර තිදෙනෙක යත්? මහණෙනි, ලෝභය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි, මහණෙනි, ද්වේෂය … මහණෙනි, මෝහය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි, මොහු තිදෙනා ඇතුළත මලයෝ යැ, ඇතුළත අමිත්රයෝ යැ, ඇතුළත සතුරෝ යැ, ඇතුළත වධකයෝ යැ, ඇතුළත පසමිතුරෝ” යි.
1. ලෝභය අනර්තථජනක යැ, ලෝභය කුසල්සිත වළහන්නේ යැ, ඇතුළත උපන් භයෙකැ, බාලජන තෙමෙ එය අවබෝධ නො කෙරෙයි.