16. 5.
මහණ තෙමේ නිර්‍ඝොෂ වූ සෙනස්නෙහි යම් භෛරවයෙකින් නො සැලෙන්නේ නම්, ඒ කුදුමහත් ( -හීනප්‍රණීත වූ) සෙනසුන්හි කිපමණ භෛරවයෝ වෙත් ද, නොහොත් එහි (කුවන්තො - ) නාද කරන භයානක අරමුණු වෙත්.
උච්චාවචෙසු සයනෙසු - ‘උච්චාවචෙසු’ යනු: උස් - මිටි වූ හීනප්‍රණීත වූ උත්තමාධම වූ විහාර යැ අඩ්ඪයොග යැ ප්‍රසාද යැ, හර්ම්‍ය යැ ගුහා යැ යන මේ ‘සයන’ යී කියනු ලැබේ නුයි ‘උච්චාවචෙසු සයනෙසු’ යනු වේ.
කුවන්තො තත්‍ථ භෙරවා - ‘කුවන්තො’ යනු: හඬගසන කූජනය කරන නාද කරන ශබ්ද කරන; නොහොත් කිවන්තො යනු: ඒ භෛරවයෝ කෙතෙක් ද? කිපමණ ද? කෙබඳු ද? කිපමණ බොහෝ ද යත්? සිංහයෝ යැ ව්‍යාඝ්‍රයෝ යැ දිවියෝ යැ වලස්සු යැ තරස්හු යැ වෘකයෝ යැ මීවෝ යැ ඇත්තු යැ සර්‍පයෝ යැ නුහුසුහු යැ සියපාහු යැ, කළ සොරකම් ඇති හෝ නැති හෝ සොරු හෝ සැහැසි මිනිස්සු හෝ වන්නාහු නුයි ‘කුවන්තො තත්‍ථ භෙරවා’ යනු වේ.
යෙහි භික්ඛු න වෙධ්‍යෙය - ‘යෙහි’ යනු: යම් භෛරවයන්ගෙන්, භෛරවයන් දැක හෝ අසා හෝ නො වෙවුළා නම්, අතිශයින් නො වෙවුළා නම්, හාත්පසින් නො වෙවුළා නම්, නො තැතිගනී නම්, හාත්පසින් නො තැතිගනී නම්, නො බිය වේ නම්, සන්ත්‍රාසයට නො පැමිණේ නම්, බියසුලු නො වූයේ නො තැතිගන්නා සුලු වූයේ ත්‍රස්ත නො වන සුලු වූයේ නො පලායනසුලු වූයේ වන්නේ නම්, ප්‍රහීණ වූ බියඅරමුණු ඇත්තේ පහවූ ලොමුදහ ඇති වැ වෙසෙන්නේ නම් යී ‘යෙහි භික්ඛු න වෙධ්‍යෙය’ යනු වේ.
නිග්ඝොසෙ සයනාසනෙ - අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්‍ය ක්‍රියාවන්ට යෝග්‍ය වූ චිත්තසමාධියට අනුරූප වූ සෙනසුන්හි නුයි ‘නිග්ඝොසෙ සයනාසනෙ’ යනු වේ.
එයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
“උච්චාවචෙසු සයනෙසු -පෙ- නිග්ඝොසෙ සයනාසනෙ” යී.
16. 6.
මහණ තෙම වනකෙළවර සෙනසුන්හි යම් උපද්‍රව කෙනකුන් මැඩපවත්වන්නේ නම්, නො ගියවිරූ අමාමහනිවන් දෙසට යනුවහුට ලොවැ කෙතෙක් උපද්‍රවයෝ වෙත් ද?
කති පරිස්සයා ලෝකේ - ‘කති’ යනු ඒ උවදුරු කීයක් ද? කෙතෙක් ද? කිපමණ ද? කිපමණ බොහෝ ද යත්: උපද්‍රවයෝ දෙදෙනෙකි: ප්‍රකට උපද්‍රවයෝ ද ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ දැයි.
ප්‍රකට උපද්‍රවයෝ කවරහ යත්: සිහ යැ වග යැ දිවි යැ වලස් යැ තරස් යැ වෘක යැ මිහි යැ ඇත් යැ නාග යැ නුහුසු යැ සියපා යැ කළ සොරකම් ඇති හෝ නැති හෝ සොරු හෝ සැහැසි මිනිස්සු වන්නාහු ය, චක්‍ෂුරොග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණරොග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්‍ෂරොග යැ කර්‍ණරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාස යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්‍ෂිරොග යැ මුර්ඡා යැ රක්තාතීසාර යැ ආමශූල යැ මහාවිරෙචන යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාස යැ ක්‍ෂයරොග යැ අපස්මාර යැ දද්‍රැ යැ කණ්ඩුති යැ කුෂ්ට යැ නියහිරි යැ අතුල්පතුල් පැළීම යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්‍ශස් යැ පොළ යැ භගන්‍දරා යැ පිත්තසමුත්‍ථාන ආබාධ යැ … ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්‍රස්‍රාව යැ මැසිමදුරු - වා අව් දික්දෑපහස්හු යි; මොහු ප්‍රකට උපද්‍රවයෝ යයි කියනු ලැබෙත්.
ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ කවරහ යත්: කායදුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ, කාමච්ඡන්‍දනීවරණ යැ, ව්‍යාපාදනීවරණ යැ, ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ රාග යැ ද්වේෂ යැ මෝහ යැ ක්‍රෝධ යැ බද්ධවෛර යැ මකුබව යැ යුගග්‍රාහ යැ ඊර්‍ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ මායා යැ ශඨබව යැ ස්තම්භ යැ සාරම්භ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්‍රමාද යැ සියලු ක්ලේශයෝ යැ, සියලු දුශ්චරිතයෝ යැ, සියලු දරථයෝ යැ, සියලු පරිදාහයෝ යැ, සියලු සන්තාපයෝ යැ, සියලු අකුශලාභිසංස්කාරයෝ යි. මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යයි කියනු ලැබෙත්.
පරිස්සයා - යනු: කවර අර්‍තථයෙකින් ‘පරිස්සය’ වූහ යත්: පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රයෝ යැ පරිහාණයට වැටැත් නුයි පරිශ්‍රයයෝ යැ එහි වෙසෙත් නුයි පරිශ්‍රයයෝ යැ. කිසෙයින් පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රය වූහ යත්: ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, හාත්පසින් සහනය කෙරෙති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් ගනිති, මර්දනය කෙරෙත්; මෙසේ පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රය වෙත්. කිසෙයින් පරිහාණයට වැටෙත් නුයි ‘පරිශ්‍රය’ වූහ යත්: ඒ උපද්‍රවයෝ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පිරිහීම් පිණිස පවත්නාහුය; කවර කුශලධර්‍මයන් ගේ ද යත්: සම්‍යක්ප්‍රතිපත්තිය අනුලෝම ප්‍රතිපත්තිය අවිරුද්ධ ප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙහි පරිපූරකාරිත්‍වය ඉන්‍ද්‍රියයන්හි පියු දොර ඇති බව භෝජනයෙහි පමණ දන්නා බව නිදි දුරු කිරීමෙහි යෙදීම ස්මෘතිසම්ප්‍රඥානය සතර සතිපට්ඨානභාවනාවෙහි යෙදීම සතර සම්‍යක්ප්‍රධානය සතර ඍද්ධිපාදය පඤ්චේන්‍ද්‍රියය පඤ්ච බලය සප්ත බෝධ්‍යඞ්ගය ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගභාවනානුයොගය යන මේ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පරිහාණය පිණිස පවත්නාහු ය. මෙසේ පරිහාණයට වැටෙත් නුයි ‘පරිශ්‍රය’ නම් වෙත්.