16. 19.
උපාධ්යායාදීන් විසින් වචනයෙන් චෝදනා කරන ලදුයේ ස්මෘතිමත් වැ සතුටු වන්නේ යැ. සබ්රම්සරුන් කෙරෙහි ගැටුණු සිත් ඇති බව බිඳපියන්නේ යැ. නුවණින් උපදවන ලද තෙපුල් බණන්නේ යැ. කාලවේලා ශීලවේලා ඉක්මැ නො බණන්නේ යැ. ජනයාගේ උපවාදකථාවෙහි සිතිවිලි නූපදවන්නේ යි.
චුදිතො වචීහි සතිමාහිනන්දෙ - ‘චුදිතො’ යනු: උපධ්යායයෝ හෝ ආචාර්ය්යයෝ හෝ සමානොපාධ්යායයෝ හෝ සමානාචාර්ය්යයෝ හෝ මිත්රයෝ හෝ සංදෘෂ්ටයෝ හෝ සම්භක්තයෝ හෝ සහායයෝ හෝ ‘ඇවැත්නි, මේ තට අයුතු යැ, මේ තට නො පැමිණියේ යැ, මේ තට නො සරුප් යැ, තාගේ මෙය ශීලයෙහි නො සිටියේ වනැ’ යි චෝදනා කෙරෙත් නම්, සිහි එළවා ඒ චෝදනාවට සතුටු වන්නේ යැ, වෙසෙසින් සතුටු වන්නේ යැ, හටුවන්නේ යැ පහටුවන්නේ යැ කැමැති වන්නේ යැ ඉවසන්නේ යැ පතන්නේ යැ රුචි කරන්නේ යැ අභිජල්පනය කරන්නේ යැ. යම්සේ ස්ත්රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණ වූයේ සැරැසෙන පියවි ඇතියේ ස්නානය කොට සිටියේ උපුල්මාලයක් හෝ දෑසමන්මාලයක් හෝ යොහොඹුමාලයක් හෝ ලැබ දෑතින් පිළිගෙන උතුමඟ හිසෙහි පිහිටුවා තුටුවන්නේ ද සතුටුවන්නේ ද හටුවන්නේ ද පහටුවන්නේ ද රිසිවන්නේ ද ඉවසන්නේ ද පතන්නේ ද කැමැතිවන්නේ ද අභිජල්පනය කරන්නේ ද එපරිද්දෙන් ම සිහි එළවා ඒ චෝදනාවට තුටුවන්නේ ය සතුටුවන්නේ ය හටුවන්නේ ය පහටුවන්නේ ය රිසිවන්නේ ය ඉවසන්නේ ය පතන්නේ ය කැමැතිවන්නේ ය අභිජල්පනය කරන්නේ යැ.
1. “වරද දක්නාසුලු වූ නිග්රහ කොට බණන්නා වූ ප්රාඥ වූ යම් කල්යාණ මිත්රයකු නිදන්සැළ තුබූ තැන් දක්වන්නක්හු වැනි කොට දක්නේ වේ ද, එබඳු ප්රාඥයා සෙවුණේ යැ. එබඳු නුවණැත්තහු සෙවුණාහට ශ්රෙයස් (- වැඩෙක්) ම වන්නේ ය. අවැඩෙක් නො වන්නේ” යි.
2. “(කල්යාණමිත්ර වූ යමෙක් අතැවැසි ආදි කිසිවක් හට) අවවාද කරන්නේ ද, අනුශාසනා කරන්නේ ද, අකුශලයෙන් වළහන්නේ ද, ඒ එබඳු පුද්ගල තෙමෙ බුද්ධාදි සත්පුරුෂයන්ට මැ ප්රිය වෙයි. අසත්පුරුෂයන්ට අප්රිය වේ.”
එයින් ‘චුදිතො වචීහි සතිමාභිනන්දෙ’ යනු වේ.
සබ්රහ්මචාරීසු ඛීලං පහින්දෙ - ‘සබ්රහ්මචාරී’ යනු: ඒකකර්ම එකොද්දෙශ්ය සමානශික්ෂා ඇත්තාහු යැ. සබ්රහ්මචාරීසු ඛිලං පහින්දෙ - සබ්රම්සරුන් කෙරෙහි ගැටුණු සිත් ඇති බව, හටගත් හුල් ඇති බව (- තද බව) බිඳපියන්නේ ය, පඤ්ච චේතෝඛිලයන් ද සිඳිනේ ය, ත්රිවිධ චේතෝඛිලයන් ද සිඳිනේ ය, රාගකීලය ද්වෙෂකීලය මොහකීලය බිඳිනේ ය, වෙසෙසින් බිඳිනේ ය, මොනොවට බිඳිනේ නුයි ‘සබ්රහ්මචාරීසු ඛිලං පහින්දෙ’ යනු වේ.
වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං - ඥානසම්ප්රයුක්ත සිතින් උපදවන ලද වචනය නිකුත් කරන්නේ ය, අර්ත්ථයෙන් යුක්ත වූ ධර්මයෙන් යුක්ත වූ කරුණු සහිත වූ පර්ය්යන්තවත් වූ වචනය සුදුසු කාලයෙහි නිකුත් කරන්නේ ය, වෙසෙසින් නිකුත් කරන්නේ නුයි ‘වාචං පමුඤ්චෙ කුසලං’ යනු වේ. නාතිවෙලං යනු: කාලවෙලාව ද සීලවෙලාව දැයි ‘වෙලා’ දෙකෙකි. කාලවේලා කවරැ යත්: කල් ඉක්මැගිය වචනය නො කියන්නේ යැ හිම් ඉක්මැගිය වචනය නො කියන්නේ යැ, කල්හිම් ඉක්මැගිය වචනය නො කියන්නේ යැ, කල් නො පැමිණි වචනය නො කියන්නේ යැ, හිම් නො පැමිණි වචනය නො කියන්නේ යැ, කල්හිම් නො පත් වචනය නො කියන්නේ ය.
3. “යමෙක් නියමයෙන් තමහට බණන කාලය නො පැමිණි කල්හි හිම් ඉක්මවා බෙහෙවින් බෙණේ ද, මෙසේ හෙතෙම (කැවිඩියගේ කැදැල්ලෙහි වැඩුණු) කෙවිලියගේ පැටියා සෙයින් නසන ලදුයේ හෝනේ” යි.
මෝ තොමෝ කාලවේලා යැ.
සීලවෙලා කවරැ යත්: රාගයෙන් රත් වූයේ තෙපුල් නො බණන්නේ යැ ද්වේෂයෙන් දුෂ්ට වූයේ වචන නො බණන්නේ යැ, මෝහයෙන් මූඪ වූයේ වචන නො බණන්නේ යැ, මුසවා නො බණනේනේ යැ, පිසුනු බස් නො බණන්නේ යැ, රළුබස් නො බණන්නේ යැ, ප්රලාප නො බණන්නේ යැ, නො කියන්නේ යැ, නො පවසන්නේ යැ නො දක්වන්නේ යැ ව්යවහාර නො කරන්නේ යි. මෝ තොමෝ සීලවෙලා වූ යැයි ‘වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං’ යනු වේ.