16. 20.
නැවත මෙයින් අනෙකක් ද කියමි: ස්මෘතිමත් වූයේ රූපරාගාදි යම් කෙනකුන්ගේ ප්‍රහාණවිනය පිණිස හික්මෙන්නේ නම්, ලොවැ එබඳු වූ පඤ්ච රජස් කෙනෙක් වෙති. රූපාලම්බනයෙහි ද ශබ්දාලම්බනයෙහි ද යළි රසාලම්බනයෙහි ද ගන්‍ධාලම්බනයෙහි ද ස්පර්‍ශාලම්බනයෙහි ද ඡන්‍දරාගය මඩනේ යි.
අථාපරං පඤ්ච රජානි ලෝකේ - ‘අථ’ යනු: පදසන්‍ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා යි. තෙල ‘අථ’ යනු. පඤ්ච රජානි යනු: රූපාලම්බනය නිසා උපන් රාගාදි රජස් යැ ශබ්දරජස් යැ ගන්‍ධරජස් යැ රසරජස් යැ ස්ප්‍රෂ්ටව්‍යරජසි.
1. රාගය රජස් යැ. රෙණු වැලිත් රජස් යී නො ද කියනු ලැබෙයි. තෙල ‘රජස්’ යනු රාගයට නමෙකි. ඒ පණ්ඩිත වූ භික්‍ෂූහු තෙල රාග නමැති රජස් වෙසෙසින් දුරු කොට විගත වූ රාගරජස් ඇති බුදුන්ගේ ශාසනයෙහි වාසය කෙරෙත්.
2. ද්වේෂය රජස් යැ …
3. මෝහය රජසෙකි. රෙණු වැලිත් රජස් යයි නො ද කියනු ලැබෙයි. තෙල ‘රජස්’ යනු මෝහයට නමෙකි. ඒ පණ්ඩිත වූ භික්‍ෂූහු තෙල මෝහ නමැති රජස වෙසෙසින් දුරු කොට විගත වූ මොහරජස් ඇති බුදුන්ගේ ශාසනයෙහි වාසය කෙරෙත්.
ලෝකේ - යනු: අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි නුයි ‘අථාපරං පඤ්ච රජානි ලෝකේ’ යනු වේ.
යෙසං සතිමා විනයාය සික්ඛෙ - ‘යෙසං’ යනු: රූපරාගයාගේ ශබ්දරාගයාගේ ගන්‍ධරාගයාගේ රසරාගයාගේ ස්ප්‍රෂ්ටව්‍යරාගයාගේ; සතිමා: යම් ස්මෘතියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක් සිහියක් සිහි කරන බවෙක් දරන බවෙක් සිහි කරවනබවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්‍ගයෙක් වේ ද මෝ තොමෝ ‘සති’ යයි කියනු ලබයි. මේ සතියෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ සිද්ධියට පැමිණියේ සමෘද්ධ වූයේ සමන්‍වාගත වූයේ හෙතෙම ‘සතිමා’ යයි කියනු ලැබේ. සික්ඛෙ යනු: ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්‍ෂා යැ අධිප්‍රඥා ශික්‍ෂා යැයි. අධිශීලශික්‍ෂා කවරැ … මෝ අධිප්‍රඥාශික්‍ෂා යි. යෙසං සතිමා විනයාය සික්ඛෙ ස්මෘතිමත් පුද්ගල තෙමේ යම් රාග කෙනකුන්ගේ රූපරාගයාගේ ශබ්දරාගයාගේ ගන්‍ධරාගයාගේ රසරාගයාගේ ස්ප්‍රෂ්ටව්‍යරාගයාගේ විනය පිණිස දුරලීම පිණිස ප්‍රහාණය පිණිස සන්හිඳුවීම පිණිස බැහැරලීම පිණිස විගතභාවය පිණිස අධිශීලයෙහි ද හික්මෙන්නේ යැ අධිචිත්තයෙහි ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේ යැ. මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙන්නේ යැ, දැනගනිමින් හික්මෙන්නේ යැ … ප්‍රත්‍යක්‍ෂ කළයුතු නිවන ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ මොනොවට හැසිරෙන්නේ යැ සමාදන් වැ පවත්නේ නුයි ‘යෙසං සතිමා විනයාය සික්ඛෙ’ යනු වේ.
රූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්‍ධෙසු ඵස්සෙසු සහෙථ රාගං - රූපයන්හි ශබ්දයන්හි ගන්‍ධයන්හි රසයන්හි ස්ප්‍රෂ්ටව්‍යවයන්හි රාගය මඩනේ යැ හාත්පසින් මඩනේ යැ අභිභවනය කරන්නේ යැ වතුරුවන්නේ යැ හාත්පසින් ගන්නේ යැ මර්දනය කරන්නේ නුයි ‘රූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්‍ධෙසු ඵස්සෙසු සහෙථ රාගං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අථාපරං පඤ්ච රජානි ලෝකේ -පෙ- ගන්‍ධෙසු ඵස්සෙසු සහෙථ රාගං” යී.
16. 21.
එළැඹ සිටි සිහි ඇති කෙලෙසුන් කෙරෙන් මොනොවට මිදුණු සිත් ඇති මහණ තෙමේ තෙල රූපාදි ධර්‍මයන් කෙරෙහි කාමච්ඡන්‍දය දුරු කරන්නේ යැ. හෙතෙම සුදුසු කාලයෙහි සියලු සංස්කාරධර්‍මය මනා කොට අනිත්‍යාදිවශයෙන් විමසනුයේ එකඟ වූ සිත් ඇතියේ සියලු මෝහාදි අන්‍ධකාරය නසන්නේ යි. (බුදුහු මෙසේ වදාළ සේකි.)
එතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං - ‘එතෙසු’ යනු: රූපයන්හි ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂටව්‍යයන්හි; ඡන්‍ද නම්: කාමවස්තූන් විෂයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණාවෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාමාධ්‍යවසානයෙක් කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමූපාදානයෙක් … කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද එය යි. එතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං - තෙල රූපාදි ධර්‍මයන්හි කාමච්ඡන්‍දය දුරු කරන්නේ යැ වෙසෙසින් දුරු කරන්නේ යැ හැරැපියන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ නුයි ‘එතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං’ යනු වේ.