16. 14.
ක්‍රෝධයාගේ හා අතිමානයාගේ වශයට නො යන්නේ යැ. ඒ ක්‍රෝධාතිමානයන්ගේ අවිද්‍යාදි මූලය ද උදුරාපියා සිටිනේ යැ. තවද (සත්ත්‍වසංස්කාර සඞ්ඛ්‍යාත) ප්‍රියවස්තුව ද යළි අප්‍රිය වස්තුව මඩිනුයේ ඒකාන්තයෙන් අභිභවනය කරන්නේ යි.
කොධාතිමානස්ස වසං න ගච්ඡෙ - ‘කෝධ’ නම්: චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් - සැඬබවෙක් නො පිරුණු වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද එය යි. අතිමාන නම්: මෙහි එකෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ මෙරමා ඉක්මවා සිතයි. කොධාතිමානස්ස වසං න ගච්ඡෙ - ක්‍රෝධයාගේ ද අතිමානයාගේ ද වශයට නො යන්නේ යැ; ක්‍රෝධය ද අතිමානය ද හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ නුයි ‘කොධාතිමානස්ස වසං න ගච්ඡෙ’ යනු වේ.
මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ - ක්‍රෝධයාගේ මූලය කවරැ යත්: අවිද්‍යාව මුල යැ, අයෝනිසෝ මනසිකාරය මුල යැ, අස්මිමානය මුල යැ, අහිරිකය මුල යැ, අනොත්තප්පය මුල යැ, ඖද්ධත්‍යය මුල යි. මේ ක්‍රෝධයාගේ මූලය යි. අතිමානයාගේ මූලය කවරැ යත්: අවිද්‍යාව මුල යැ, අයෝනිසෝ මනසිකාරය මුල යැ, ‘මම් වෙමියි’ යන මානය මුල යැ, අහිරිකය මුල යැ, අනොත්තප්පය මුල යැ, ඖද්ධත්‍යය මුල යි. මේ අතිමානයාගේ මූලය යි. මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ - ක්‍රෝධයාගේ ද අතිමානයාගේ ද මුල සාරා උදුරා මොනොවට උදුරා උපුටා මොනොවට උපුටා හැරැපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා සිටින්නේ යැ, මොනොවට සිටින්නේ නුයි ‘මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ’ යනු වේ.
අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය - ‘අථ’ යනු : පදසන්‍ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරයන්ගේ සමවාය යැ ව්‍යඤ්ජනයන්ගේ සිලුටුබව යැ පදානුපූර්‍වතා යැ, තෙල ‘අථ’ යනු. පියා යනු: ප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ. ප්‍රිය සත්ත්‍වයෝ කවරහ යත්: මෙහි යම් සත්ත්‍ව කෙනෙක් ඔහුට වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු සුව කැමැත්තාහු නිර්‍භය කැමැත්තාහු වෙත් ද, මව හෝ පියා හෝ බෑයා හෝ බූන හෝ පුතා හෝ දුව හෝ යහළුවෝ හෝ සගයෝ හෝ නෑයෝ හෝ සහලේනෑයෝ හෝ යන මේ සත්ත්‍වයෝ ප්‍රියයෝ යි. ප්‍රියසංස්කාරයෝ කවරහ යත්: මනවඩන රූපයෝ යැ මන වඩන ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි; මේ සංස්කාරයෝ ප්‍රියයෝ යි. අප්පියා යනු: අප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ. අප්‍රිය සත්ත්‍වයෝ කවරහ යත්: මෙහි යම් සත්ත්‍ව කෙනෙක් ඔහුට අවැඩ කැමැත්තාහු අහිත කැමැත්තාහු නො සුව කැමැත්තාහු අයොගක්‍ෂෙමය කැමැත්තාහු දිවි තොර කරනු කැමැත්තාහු වෙද් ද, මේ සත්ත්‍වයෝ අප්‍රියයෝ යි. අප්‍රිය සංස්කාරයෝ කවරහ යත්: අමනාප වූ රූපයෝ යැ අමනාප වූ ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යන මේ සංස්කාරයෝ අප්‍රියයෝ යි. අද්ධා යනු: ඒකාන්ත වචන යැ නිස්සංශය වචන යැ නිසැක වචන යැ අද්වෛත වචන යැ නිස්සන්දෙහවචන යැ නියෝග වචන යැ අවිරුද්ධ වචන යැ සන්නිට්ඨාපන (-නිමවන) වචනයෙකි, තෙල ‘අද්ධා’ යනු. අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය - ප්‍රියාප්‍රියය මධුරාමධුරය සූඛදුඃඛය සොම්නස්දොම්නස ඉෂ්ටානිෂ්ටය මොනොවට මඩමින් හෝ අභිභවනය කරන්නේ යැ, අතිශයින් මඩමින් හෝ අභිභවනය කරන්නේ නුයි ‘අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“කොධාතිමානස්ස -පෙ- අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය” යී.
16. 15.
(බුද්ධානුස්මෘති ආදීන් ගේ වශයෙන්) කල්‍යාණප්‍රීතියෙන් යුක්ත වූයේ ප්‍රඥාව පෙරටු කොට ඒ (ප්‍රකට - ප්‍රතිච්ඡන්න) උපද්‍රවයන් යටපත් කරන්නේ යැ, ප්‍රාන්තසෙනාසනයෙහි අරතිය (- නො ඇලීම) මැඩපවත්වන්නේ යැ. චතුර්විධ පරිදෙවධර්‍මයන් අභිභවනය කරන්නේ යි.
පඤ්ඤං පුරක්ඛත්‍වා කල්‍යාණපීති - ‘පඤ්ඤා’ යනු: යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂයෙන් දැනීමෙක් විමසීමෙක් ප්‍රකර්‍ෂයෙන් විමසීමෙක් දහම් විමසීමෙක් … අමෝහයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. පඤ්ඤං පුරක්ඛත්‍වා - මෙහි කිසිවෙක් ප්‍රඥාව පෙරටු කොට හැසිරෙයි, ප්‍රඥාව ධ්වජ කොට ඇත්තේ ප්‍රඥාව කෙහෙලි කොට ඇත්තේ ප්‍රඥාව අධිපති කොට ඇත්තේ විමසීම බහුල කොට ඇත්තේ වෙසෙසින් විමසීම බහුල කොට ඇත්තේ නුවණින් දැකීම බහුල කොට ඇත්තේ සෙවීම බහුල කොට ඇතියේ ප්‍රකට වූ විහරණ ඇතියේ ඒ ප්‍රඥාව චරිතය කොට ඇතියේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ ඊට නැමුණේ ඊට නතු වූයේ ඊට බරවූයේ එහි ඇලුණේ එය අධිපති කොට ඇත්තේ නුයි මෙසේ ද ‘පඤ්ඤං පුරක්ඛත්‍වා’ යනු වේ.