16. 12.
රෝගස්පර්‍ශයෙන් ද ක්‍ෂුධායෙන් ද ස්පර්‍ශ කරන ලදුයේ ශීතය ද යළි උෂ්ණය ද ඉවසන්නේ ය. හෙ තෙමෙ ඒ රොගස්පර්‍ශාදියෙන් බොහෝ සෙයින් පහස්නා ලදුයේ අභිසංස්කාර සහගතවිඥානයට හෝ දුශ්චරිතයට අවකාශ නො කරනුයේ චෛතසික වීර්‍ය්‍යාරම්භය දැඩි ව කරන්නේ යි.
ආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො - රොගස්පර්‍ශය ‘ආතඞ්කඵස්ස’ යී කියනු ලැබෙයි. රෝගස්පර්‍ශයෙන් පහස්නා ලදුයේ මඩනා ලදුයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ වන්නේ ය; චක්‍ෂුරෝගයෙන් පහස්නා ලදුයේ පෙළුණේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ වන්නේ ය, ශ්‍රොත්‍රරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් - ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් … මැසි - මදුරු - වා - අව් - දිග්දෑපහසින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ ය. සාදුක ‘ඛුදා’යී කියනු ලැබේ. සාදුකින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ නුයි ‘ආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො’ යනු වේ.
සිතං අථුණ්හං අධිවාසයෙය්‍ය - ‘සීතං’ යනු: දෙකරුණෙකින් ශීතය වෙයි: අභ්‍යන්තරධාතුකොපවශයෙන් හෝ ශීතය වේ. බාහිර ඍතුවශයෙන් හෝ ශීතය වේ. උණ්හං යනු: දෙකරුණෙකින් උෂ්ණය වෙයි: අභ්‍යන්තරධාතුකොපවශයෙන් හෝ උෂ්ණය වෙයි. බාහිර ඍතුවශයෙන් හෝ උෂ්ණය වේ නුයි ‘සීතං අථුණ්හං’ යනු වේ. අධිවාසයෙය්‍ය යනු: ශීත උෂ්ණ සා පවස් මැසිමදුරුවාඅව්දිග්දෑපහස් ඉවසනුයේ වන්නේ ය, නපුරු කොට කියන ලද දුක් උපදවන අයුරින් පැමිණි වචනයන් ද දුක් වූ ත්‍රීව්‍ර වූ රළු වූ කටුක වූ අමධුර වූ අමනාප වූ දිවි පැහැරගන්නා වූ උපන් ශාරීරික වේදනාවන් ඉවසන ස්වභාව ඇත්තේ වන්නේ නුයි ‘සීතං අථුණ්හං අධිවාසයෙය්‍ය’ යනු වේ.
සො තෙහි ඵුට්ඨො බහුධා අනොකො - ‘සො තෙහි’ යනු: රෝගස්පර්‍ශයෙන් ද ක්‍ෂුධායෙන් ද ශීතයෙන් ද උෂ්ණයෙන් ද පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ නුයි ‘සො තෙහි ඵුට්ඨො’ යනු වේ. බහුධා යනු: නන්වැදෑරුම් අයුරින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ නුයි ‘සො තෙහි ඵුට්ඨො බහුධා’ යනු වේ. අනොකො යනු: කුශලාකුශල චෙතනාසම්ප්‍රයුක්ත විඥානයට අවකාශ නො කෙරේ නුයි ද ‘අනෝක’ යැ. නොහොත් කායදුශ්චරිතයට වාග්දුශ්චරිතයට මනොදුශ්චරිතයට අවකාශ නො කෙරේ නුයි ද ‘අනෝක’ නුයි ‘සො තෙහි ඵුට්ඨො බහුධා අනොකො’ යනු වේ.
විරියපරක්කමං දළ්හං කරෙය්‍ය - යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් කෞසීද්‍යයෙන් නික්මැ යෑමෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධික උත්සාහයෙක් නො පසුබස්නා බවෙක් ස්ථිර බවෙක් කුශලසන්තානය ධරා සිටීමෙක් නො ලිහිල් පරාක්‍රම ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යධුරය දැඩිව ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, එය ‘විරියපරක්කම’ යී කියනු ලැබේ. විරියපරක්කමං දළ්හං කරෙය්‍ය - චෛතසිකවීර්‍ය්‍යාරම්භය දැඩි කරන්නේ ය, ස්ථිර කරන්නේ ය, දෘඪසමාදාන ඇත්තේ බැසගන්නා ලද සමාදාන ඇත්තේ වන්නේ නුයි ‘විරියපරක්කමං දළ්හං කරෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ආතඞ්කඵස්සෙන -පෙ- විරියපරක්කමං දළ්හං කරෙය්‍ය” යී.
16. 13.
සොරකම් නො කරන්නේ යැ. මුසවා නො කියන්නේ යැ. තෘෂ්ණා සහිත වූ ද ස්ථාවර වූ ද (-පෘථග්ජන ක්‍ෂීණාස්‍රව) පුද්ගලයන් මෙත්සිතින් පතුරුවන්නේ යැ. යම් චිත්තයාගේ කැලැඹුණු බවක් දන්නේ නම්, එය මාරයාගේ පක්‍ෂයෙහි වනැයි දුරු කරන්නේ යි.