16. 11.
නො සහදැමියන්ට ද නො බිය වන්නේ යැ. ඔවුන්ගේ බොහෝ බිය උපදවන අරමුණු දැක ද නො තැතිගන්නේ යැ. තවද කුසල් දහම් සොයනුයේ අන් උවදුරු ද මැඩපවත්වන්නේ යි.
පරධම්මිකානම්පි න සන්තසෙය්‍ය දිස්වාපි තෙසං බහුභෙරවානි - සත් සහදැමියන් තබා බුදුන් දහම් සඟුන් කෙරෙහි නො පහන් වූ යම් කිසි කෙනෙක් ‘පරධම්මිකයෝ’ යැයි කියනු ලැබෙත්. ඔහු භික්‍ෂුහුගෙන් පැන හෝ පුළුවුස්නාහු ය, වාදාරෝපණය හෝ කරන්නාහු ය, ආක්‍රෝශ කරන්නාහු ය, පරිභව බණන්නාහු ය, කෝප කරන්නාහු ය, වෙසෙසින් කෝප කරන්නාහු ය, හිංසා කරන්නාහු ය, විහිංසා කරන්නාහු ය, පෙළන්නාහු ය, වෙසෙසින් පෙළන්නාහු ය, නසන්නාහු ය, වෙහෙසන්නාහු ය, උපඝාත හෝ කරන්නාහු ය. ඔවුන්ගේ බොහෝ වූ බිය උපදවන අරමුණු දැක හෝ අසා හෝ නො සැලෙන්නේ යැ, වෙසෙසින් නො සැලෙන්නේ යැ, හාත්පසින් නො සැලෙන්නේ යැ, නො තැතිගන්නේ යැ, සන්ත්‍රස්ත - උත්‍රස්ත - පරිත්‍රස්ත නො වන්නේ යැ, නො බියවන්නේ යැ, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ යැ; නො බියසුලු නො සැලෙනසුලු නො තැතිගන්නා සුලු නො පලායනසුලු වන්නේ යැ, ප්‍රහීණ වූ බියඅරමුණු ඇතියේ පහවූ ලොමුදහ ඇතිව වාසය කරන්නේ නුයි ‘පරධම්මිකානම්පි න සන්තසෙය්‍ය දිස්වා පි තෙසං බහුභෙරවානි’ යනු වේ.
අථාපරානි අභිසම්භවෙය්‍ය පරිස්සයානි කුසලානුඵසි - තවද අන්‍ය වූ ත් මැඩියැ යුතු අභිභවනය කළ යුතු යටපත් කළයුතු හාත්පසින් ගත යුතු මර්දනය කළ යුත්තාහු ඇති. පරිස්සය නම්: ප්‍රකට පරිශ්‍රයෝ ද ප්‍රතිච්ඡන්න පරිශ්‍රයෝ දැයි පරිශ්‍රය (-උපද්‍රව) දෙකෙකි … මෙසේත් ‘තත්‍රාසය’ නුයි පරිශ්‍රය නම් වෙත්. කුසලානුඵසී යනු: සම්‍යක් ප්‍රතිපත්තිය අනුලොමප්‍රතිපත්තිය අවිරුද්ධප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය … ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නිර්‍වාණය ද නිර්‍වාණගාමිනීප්‍රතිපත්තිය ද සොයන්නහු විසින් ගවේෂණය කරන්නහු විසින් පර්‍ය්‍යෙෂණය කරන්නහු විසින් උපද්‍රවයෝ මැඩිය යුත්තාහු ය, අභිභවනය කළ යුත්තාහු ය, යටපත් කළ යුත්තාහු ය, හාත්පසින් ගත යුත්තාහු ය, මර්දනය කළ යුත්තාහු නුයි ‘අථාපරානි අභිසම්භවෙය්‍ය පරිස්සයානි කුසලානුඵසි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පරධම්මිකානම්පි -පෙ- පරිස්සයානි කුසලානුඵසි” යී.
16. 12.
රෝගස්පර්‍ශයෙන් ද ක්‍ෂුධායෙන් ද ස්පර්‍ශ කරන ලදුයේ ශීතය ද යළි උෂ්ණය ද ඉවසන්නේ ය. හෙ තෙමෙ ඒ රොගස්පර්‍ශාදියෙන් බොහෝ සෙයින් පහස්නා ලදුයේ අභිසංස්කාර සහගතවිඥානයට හෝ දුශ්චරිතයට අවකාශ නො කරනුයේ චෛතසික වීර්‍ය්‍යාරම්භය දැඩි ව කරන්නේ යි.
ආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො - රොගස්පර්‍ශය ‘ආතඞ්කඵස්ස’ යී කියනු ලැබෙයි. රෝගස්පර්‍ශයෙන් පහස්නා ලදුයේ මඩනා ලදුයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ වන්නේ ය; චක්‍ෂුරෝගයෙන් පහස්නා ලදුයේ පෙළුණේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ වන්නේ ය, ශ්‍රොත්‍රරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් - ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් … මැසි - මදුරු - වා - අව් - දිග්දෑපහසින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ ය. සාදුක ‘ඛුදා’යී කියනු ලැබේ. සාදුකින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ නුයි ‘ආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො’ යනු වේ.