16. 10.
ධීර වූ ස්මෘතිමත් වූ (ශීලාදි සතර) පර්ය්යන්තයෙහි හැසිරෙනසුලු ඒ මහණ තෙමෙ (මතු දක්වන) පඤ්ච භීතීන්ට නො බියවන්නේ යැ: ඇට මැස්සන් හා සෙසු මැස්සන්ට ද, දීර්ඝජාතීන්ට ද, චෞරාදි මනුෂ්යස්පර්ශයන්ට ද, සිංහාදි සිවුපාවුන්ට ද -
පඤ්චන්ත ධීරො භයානං න භායෙ - ‘ධීරො’ යනු ධීර වූයේ පණ්ඩිත වූයේ ප්රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැතියේ තීරණප්රඥා ඇතියේ ධාරණප්රඥා ඇතියේ වීර වූයේ පඤ්ච භීතීන්ට නො බිය වන්නේ යැ, නො තැති ගන්නේ යැ, සන්ත්රස්ත නො වන්නේ යැ, උත්රස්ත නො වන්නේ යැ, හාත්පසින් නො තැති ගන්නේ යැ, සන්ත්රාසයට නො පැමිණෙන්නේ යැ, නො බියසුලු නො සැලෙනසුලු නො තැතිගන්නාසුලු නො පලායනසුලු වන්නේ යැ, ප්රහීණ වූ බිය අරමුණු ඇතියේ පහවූ ලොමුදහ ඇතියේ වෙසෙන්නේ නුයි ‘පඤ්චන්ත ධීරො භයානං න භායෙ’ යනු වේ.
භික්ඛු සතෝ සප්පරියන්තචාරී - ‘භික්ඛු’ යනු: පෘථග්ජනකල්යාණක මහණ හෝ ශෛක්ෂ මහණ හෝ යැ; සතෝ යනු: කරුණු සතරෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි - චිත්තයෙහි - ධර්මයන්හි ධම්මානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, හෙ තෙම සිහි ඇතියේ යයි කියනු ලැබේ. සප්පරියන්තචාරී පර්ය්යන්තයෝ සතර දෙනෙකි: ශීලසංවරපර්ය්යන්ත යැ, ඉන්ද්රියසංවරපර්ය්යන්ත යැ, භෝජනයෙහි මාත්රඥතාපර්ය්යන්ත යැ, ජාගර්ය්යානුයොගපර්ය්යන්ත යැයි. ශීලසංවරපර්ය්යන්තය කවරැ යත්: මෙ සස්නෙහි මහණ තෙමෙ සිල්වත් වෙයි, ප්රාතිමෝක්ෂසංවරයෙන් සංවර වැ වෙසෙයි, ආචාරයෙන් හා ගෝචරයෙන් සම්පූර්ණ වූයේ මදපමණ වරදෙහි බිය දක්නාසුලු වූයේ සමාදන් වැ ශික්ෂාපදයන්හි හික්මෙයි, අභ්යන්තරයෙහි පූතිභාවය (-සිල් රහිත බව) ප්රත්යවේක්ෂා කෙරෙමින්, ශීලසංවරපරිච්ඡෙදයාගේ ඇතුළත හැසිරෙයි; ශීලමර්ය්යාදාව නො බිඳී. මේ තෙමෙ ශීලසංවරපර්ය්යන්තය යි. ඉන්ද්රියසංවරපර්ය්යන්තය කවරැ යත්? මේ සස්නෙහි මහණ තෙමෙ ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති නො ගන්නේ වෙයි. (හස්තපාදාදී ආකාර සඞ්ඛ්යාත) අනුව්යඤ්ජන නො ගන්නේ වෙයි, යම් කරුණෙකින් මොහු ... චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි, කනින් ශබ්දයක් අසා - නැහැයෙන් ගඳක් අගා - දිවින් රසයක් විඳ - කයින් පහසක් පැහැස - මනසින් දහමක් දැන නිමිති නො ගන්නේ වෙයි, අනුව්යඤ්ජන නො ගන්නේ වෙයි, යම් කරුණෙකින් මනෙන්ද්රියය අසංවෘත වැ වාසය කරන මොහු අභිධ්යා දොම්නස් සඞ්ඛ්යාත ලාමක අකුශලධර්මයෝ අනුබඳනාහු නම්, ඒ මනෙන්ද්රියයා ගේ සංවරය පිණිස පිළිපදී, මනෙන්ද්රියය රකී, මනෙන්ද්රියයෙහි සංවරයට පැමිණේ. ආදීප්තපර්ය්යාය දේශනාව ප්රත්යවේක්ෂා කෙරෙමින් ඉන්ද්රියසංවරපරිච්ඡෙදය අභ්යන්තරයෙහි හැසිරෙයි, ඉන්ද්රියසංවරමර්ය්යාදාව නො බිඳී. මේ තෙමෙ ඉන්ද්රියසංවරපර්ය්යන්තය යි භෝජනයෙහි මාත්රඥතාපර්ය්යන්තය කවරැ යත්? මෙ ශාසනයෙහි මහණ තෙමෙ නුවණින් ප්රත්යවේක්ෂා කොට අහර වළඳයි, කෙළි පිණිස නො වළඳයි, මද පිණිස - අලඞ්කාර පිණිස - සැරැසුම් පිණිස නො වළඳයි, යම්තාක් මේ කයෙහි පැවැත්ම පිණිස යැපීම පිණිස බඩගිනි වේදනා නැසීම පිණිස බඹසරට අනුග්රහ පිණිස වළඳයි, මෙසේ ‘පැරණි බඩගිනි වේදනාව නසමි, අලුත් වේදනාත් නූපදවමි, මාගේ යැපීම ද වන්නේය, නිවරද බව ද සුඛවිහරණය ද වන්නේ ය’ යි අක්ෂාභ්යඞ්ගොපමාව ද ව්රණප්රතිච්ඡාදනොපමාව ද පුත්රමාංසොපමාව ද ප්රත්යවේක්ෂා කෙරෙමින් භෝජනයෙහි මාත්රඥතාපරිච්ඡෙදය අභ්යන්තරයෙහි හැසිරෙයි, මර්ය්යාදාව නො බිඳී. මේ තෙමෙ භෝජනයෙහි මාත්රඥතාපර්ය්යන්තය යි.