15. 8.
නිවනෙහි නැමුණු සිත් ඇති සත්ත්‍ව තෙමේ (වේදනාදි ස්කන්‍ධත්‍රය සඞ්ඛ්‍යාත) නාමකායයාගේ අකර්‍මණ්‍ය බව (- මිද්ධය) ද කායාලස්‍යය ද චිත්තයාගේ අකර්‍මණ්‍ය බව ද මැඩපවත්වන්නේ යැ, ස්මෘතිවිප්‍රවාසය (සඞ්ඛ්‍යාත) ප්‍රමාදයෙන් නො වසන්නේ යැ, අතිමානයෙහි නො පවත්නේ යි.
නිද්දං තන්දිං සහෙ ථීනං - ‘නිද්දා’ නම්: ස්කන්‍ධත්‍රය සඞ්ඛ්‍යාත නාමකායයා ගේ අකල්‍ය (-ගිලන්) බවෙක් අකර්‍මණ්‍ය බවෙක් (මේඝය අහස මෙන්) කය පහත් කොට බැඳීමෙක් හාත්පසින් බැඳීමෙක් ඇතුළත ඇවිරීමෙක් (අකර්‍මණ්‍යභාවයෙන්) පෙළීමෙක් නිදීමෙක් කපිනිද්‍රාවක් නිදීමෙක් නිදන අයුරෙක් නිදිගත් බවෙක් වේ ද එයයි. තන්දිං යනු: තන්ද්‍රාවක් තන්ද්‍රාකාරයෙක් තන්ද්‍රාවෙන් මඩනා ලද සිත් ඇති බවෙක් ආලස්‍යයක් අලසබවක් ආලස්‍යාකාරයක් ආලස්‍යයෙන් මඩනා ලද සිත් ඇති බවක් වේ ද එය යි. ථීනං යනු: චිත්තයාගේ යම් ගිලන්බවෙක් අකර්‍මණ්‍ය බවෙක් එලෙන අයුරෙක් මැනවින් එලෙන අයුරෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකුළුණු බවක් චිත්තයාගේ නො පැතිරීමෙක් නො පැතිරෙන අයුරෙක් නො පැතුරුණු බවෙක් වේ ද එයයි. නිද්දං තන්දිං සහෙ ථීනං - ගිලන් බව ද ආලසය්‍ය ද තදබව ද; සහෙ - සහනය කරන්නේ යැ, හාත්පසින් සහනය කරන්නේ යැ, මඩනේ යැ, යටපත් කරන්නේ යැ, අල්වාගන්නේ යැ, හාත්පසින් ගන්නේ යැ, මර්දනය කරන්නේ නුයි ‘නිද්දං තන්දිං සහෙ ථීනං’ යනු වේ.
පමාදෙන න සංවසෙ - ප්‍රමාදය කියැයුත්තේ යැ: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාමගුණයන්හි හෝ චිත්තයාගේ දුරැලීම (-ස්මෘති විරහය) නැවත නැවත දුරැලීම හෝ, කුශලධර්‍මයන්ගේ හෝ වැඩීමෙහි නො සකස් ව කරන බව සතතභාවයෙන් නො කරන බව නිරතුරු නො කරන බව හැකුළුණු පැවතුම් ඇති බව වීර්‍ය්‍යච්ඡන්‍දය හළ බව වීර්‍ය්‍යධුරය බහාතැබූ බව නො සෙවුණා බව නො වැඩීම බහුල නො කිරීම නො පිහිටීම නො යෙදීම ප්‍රමාද වීම, (යන) මෙබඳු වූ යම් ප්‍රමාදයෙක් ප්‍රමාදවන අයුරක් ප්‍රමාදවන බවක් වේ ද, මේ ‘ප්‍රමාද’ යයි කියනු ලැබේ. පමාදෙන න සංවසෙ ප්‍රමාදයෙන් නො වසන්නේ යැ, නො වෙසෙසින් වසන්නේ යැ, නො පැමිණ වසන්නේ යැ, හාත්පසින් නො වසන්නේ යැ; ප්‍රමාදය දුරුකරන්නේ යැ බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ; ප්‍රමාදයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘පමාදෙන න සංවසෙ’ යනු වේ.
අතිමානෙ න තිට්ඨෙය්‍ය - ‘අතිමාන’ නම්: මෙහි කිසිවෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ … යම් කිසි වස්තුවකින් හෝ මෙරමා පහත් කොට සිතයි. මෙබඳු වූ යම් මානයෙක් මානාකාරයෙක් මාන කරන බවක් උන්නතියක් උඩඟුබවක් මානධ්වජයක් සිත දැඩි කොට ගැනීමක් චිත්තයා ගේ කෙතුකම්‍යතාවක් වේ ද, මෙ ‘අතිමානය’ යයි කියනු ලැබේ. අතිමානෙ න තිට්ඨෙය්‍ය අතිමානයෙහි නො සිටිනේ යැ, වෙසෙසින් නො සිටිනේ යැ, අතිමානය දුරු කරන්නේ යැ, බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ: අතිමානයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැගියේ විප්‍රමුක්ත විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘අතිමානෙ න තිට්ඨෙය්‍ය’ යනු වේ.
නිබ්බානමානසො නරෝ - මෙහි කිසිවෙක් දන් දෙනුයේ සිල් සමාදන් වනුයේ පෙහෙවස්කම් කරනුයේ පියයුතු පරිභෝග කළයුතු පැන් එළවා තබනුයේ පිරිවෙන හමදිනුයේ සෑය වඳිනුයේ සෑයෙහි සුවඳමල්දම් නඟනුයේ සෑය පැදකුණු කරනුයේ තුන්බිමට අයත් යම් කිසි කුශලාභිසංස්කාරයක් රැස් කරනුයේ (දිව්‍යාදි) ගතිහෙතුයෙන් නො කෙරෙයි. උත්පත්තිය හේතුකොට - ප්‍රතිසන්‍ධිය හේතුකොට - භවය හේතු කොට - සංසාරය හේතු කොට - වෘත්තය හේතු කොට නො කෙරෙයි. ඒ සියල්ල විසංයොගයෙහි ප්‍රාර්‍ත්‍ථනා ඇතියේ නිවනට නැමුණේ නිවනට නැබුරු වූයේ නිවනට අභිමුඛව නැමුණේ රැස් කෙරේ නුයි - මෙසේත් ‘නිබ්බානමානසො නරෝ’ යනු වේ. නොහොත් සියලු ත්‍රෛභූමක සංස්කාරධාතුයෙන් සිත නවත්වා, නිර්‍වාණධාතුවට සිත එළවයි: යම් මේ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමෙක් සියලු උපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය වීමෙක් කෙලෙස්රජසුන්ගේ නො ඇලීමෙක් දුක්ඛනිරොධයෙක් නිර්‍වාණයෙක් වේ ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැයි මෙසේත් ‘නිබ්බානමානසො නරෝ’ යනු වේ.