15.
අත්තදණ්ඩසූත්රනිර්දේශය
ඉක්බිති අත්තදණ්ඩසූත්ර නිර්දෙශය කියනු ලැබේ.
15. 1.
ආත්මදණ්ඩය (-තමාගේ කායාදි දුශ්චරිතය) හේතු කොටගෙන දෘෂ්ටධාර්මිකාදි භය උපන. (එසේ කල්හි) ප්රතිවිරුද්ධ වූ ජනයා බලවු. මා විසින් යම්සේ (තමා මැ තම හට) සංවේග උපදවන ලද ද, (එපරිද්දෙන්) සංවේගය ප්රකාශ කරන්නෙමි.
අත්තදණ්ඩා භයං ජාතං - ‘දණ්ඩා’ යනු: දණ්ඩයෝ තිදෙනෙකි: කායදණ්ඩ යැ, වාග්දණ්ඩ යැ, මනොදණ්ඩ යැයි. ත්රිවිධ කායදුශ්චරිතය කායදණ්ඩ යැ, චතුර්විධ වාග්දුශ්චරිතය වාග්දණ්ඩ යැ, ත්රිවිධ මනෝදුශ්චරිතය මනොදණ්ඩ යි. භයං යනු: භය දෙකෙකි: දෘෂ්ටධාර්මිකභය යැ සාම්පරායිකභය යි. දෘෂ්ටධාර්මිකභය කවරැ යත්: මෙලොවැ කිසිවෙක් කයින් දුශ්චරිතයෙහි හැසිරෙයි, වචනයෙන් දුශ්චරිතයෙහි හැසිරෙයි, සිතින් දුශ්චරිතයෙහි හැසිරෙයි, ප්රාණවධ දු කෙරෙයි, නුදුන් දෙය ද ගනී, ගෘහසන්ධි දු සිඳී, ගම් පැහැරීම ද ගෙවල් පැහැරීම ද මං පැහැරීම ද කෙරෙයි, පරඹුන් කරා ද යෙයි, මුසවා ද බෙණේ. ඒ තුලුහු අල්වාගෙන ‘දේවයිනි, මේ අපරාධකාරී සොරෙක, මොහුට යමක් කැමැති නම් ඒ දඬුවම් පැණවුව මැනැවැ’ යි රජුට දක්වති. රජ ඔහුට පරිභව බෙණෙයි. හෙතෙම පරිභව හේතුවෙන් බිය උපදවයි, දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයිනැ යත්: ආත්මදණ්ඩයෙන් (- තම පවින්) උපන හටගත නිපන වෙසෙසින් නිපන පහළ වී. මෙතෙකිනුදු රජ නො සතුටු වෙයි. රජ ඒ තුලුහු සිරබැඳුමෙන් හෝ රැහැන් බැඳුමෙන් හෝ හැකිලි බැඳුමෙන් හෝ වේවැල් බැඳුමෙන් හෝ ලතාබන්ධනයෙන් හෝ ප්රක්ෂෙපබන්ධනයෙන් හෝ පරික්ෂෙපබන්ධනයෙන් හෝ ග්රාමබන්ධනයෙන් හෝ නිගමබන්ධනයෙන් හෝ නගරබන්ධනයෙන් හෝ රාෂ්ට්රබන්ධනයෙන් හෝ ජනපදබන්ධනයෙන් හෝ බන්දවයි, යටත් පිරිසෙයින් ‘තට මෙයින් බැහැර යන්නට නො ලැබේ’ යයි (පළිබෝධ සඳහා) කියැයුතු ද කෙරෙයි. හෙතෙම බන්ධන හේතුවෙන් ද දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයිනැ යත්: ආත්මදණ්ඩයෙන් උපන හටගත නිපන වෙසෙසින් නිපන පහළ විය. තෙල පමණෙකිනු දු රජ නො සතුටු වෙයි. රජ ඔහුගේ ධනය සියයක් හෝ දහසක් හෝ සියදහසක් හෝ ගෙන්වා ගනී. හෙතෙම ධනහානිය හේතු කොටගෙන ද දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයිනැ යත්: ආත්මදණ්ඩයෙන් උපන, හටගත නිපන වෙසෙසින් නිපන පහළ විය. මෙතෙකිනු දු රජ නො සතුටු වෙයි. රජ ඔහුට විවිධ කම්කටොලු කරවයි.
කසයෙනු දු තළවයි, වේවැලිනු දු තළවයි, අඩදඬියෙනු දු තළවයි, අත ද සිඳී, පය ද සිඳී, අත්පා ද සිඳී, කන ද සිඳී, නැහැය ද සිඳී, කන්නාසා ද සිඳී, බිලඞ්ගථාලික කම්කටොලු දු කෙරෙයි, සක්මුඬු දු කෙරෙයි, රාහුමුඛ කම්කටොලු ද කෙරෙයි, ජෝතිමාලික කම්කටොලු ද කෙරෙයි, හත්ථපජ්ජෝතික කම්කටොලු දු කෙරෙයි, එරුවතු කම්කටොලු දු කෙරෙයි, තිහිරිවත් කම්කටොලු දු කෙරෙයි එණෙය්යක කම්කටොලු දු කෙරෙයි, බිලියෙන් සම්මස්නහර ද උපුටයි, කහවණුවම් ද කෙරෙයි, කාරමු දු ගල්වයි, පරිඝපරිවර්තන කම්කටොලු ද කෙරෙයි පලාලපිට්ඨික කම්කටොලු ද කෙරෙයි, රත්කළ තෙලු දු ඉසී, ශුනකයන් ලවා ද කවයි, දිවස්හුල ද හිඳුවයි, කඩුවෙනු දු හිස සිඳී; හෙතෙම කම්කටොලු හෙතුයෙනු දු දුක් දොම්නස් විඳී. තෙල බියදුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩයෙන් උපන, හටගත නිපන වෙසෙසින් නිපන පහළ වූයේ වන. රජ මේ සතර දඩුවමට පොහොසත් (-සමර්ත්ථ) වේ.
හෙතෙම සිය පව්කැමින් කාබුන් මරණින් මතු සැප නැති දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණෙයි; ඔහුට නිරයපාලයෝ පඤ්චවිධ බන්ධන නම් කම්කටොලු කරවති: රත් වූ යවුලක් අතෙහි ගසති, රත් යවුලක් දෙවැනි අතෙහි ගසති, රත් යවුලක් පයෙහි ගසති, රත් යවුලක් දෙවැනි පයෙහි ගසති, රත් යවුලක් ළමැද ගසත්. හේ එහි තියුණු වූ කටුක වූ දුක් වේදනා විඳී. යම් තාක් ඒ පව්කම් නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩ හේතුවෙන් ජාත යැ සඤ්ජාත යැ නිර්වෘත යැ අභිනිර්වෘත යැ ප්රාදුර්භූත යි. යමපල්හු ඒ පව්කම් කළහු බිමැ හොවා කෙටේරියෙන් සස්ති; හේ එහි තියුණු කටුක දුක් වේදනා විඳී. යම් තාක් ඒ පව්කම් නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. යමපල්හු ඒ පව්කම් කළහු ඌර්ධ්වපාද කොට අධඃශීර්ෂ කොට ගෙන වෑයෙන් සස්ති. ඒ පව්කම් කළහු නිරයපාලයෝ (ගින්නෙන් දිලියෙන) රියෙහි යොදා හාත්පසින් දැල්වෙන අතිශයින් දිලියෙන ගිනිදැල් සහිත වූ පොළොවෙහි ඉදිරියට ඇවිදුවන්නාහු ද නවතන්නාහු ද වෙති, පව්කම් කළ ඔහු යමපල්හු ආදීප්ත වූ සම්ප්රජ්වලිත වූ ජ්වාලා සහිත වූ මහත් අඞ්ගාරපර්වතයට නංවති. බස්වන්නාහු ද වෙත් … යමපල්හු පව්කම් කළ ඔහු ඌර්ධ්වපාද අධඃශීර්ෂ කොට ගෙන තප්ත වූ ආදීපත් වූ සම්ප්රජ්වලිත වූ ජ්වාලා සහිත වූ ලෝහකුම්භියෙහි ප්රක්ෂේප කෙරෙත්. හේ එහි පෙණපිඬක් බඳු දේහ ඇති වැ පැසෙයි. හේ එහි පෙණපිඬක් බඳු දේහ ඇති වැ පැස්නේ වරක් උඩට ද නැඟෙයි, වරක් යටට ද බසී. වරක් සරස ද ඇවිදී. හේ එහි තීව්ර වූ කටුක වූ දුක් වේදනා විඳී. යම් තාක් ඒ පව්කමේ නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩයෙන් (සිය කැමින්) උපන, සඤ්ජාත යැ නිර්වෘත යැ ප්රාදුර්භූත යි. ඒ පව්කම් කළ ඔහු යමපල්හු මහානිරයෙහි ප්රක්ෂේප කෙරෙත්. ඒ මහානිරය වූ කලි: