15. 6.
සත්ත්‍වලෝකයෙහි යම් පස්කම්ගුණ කෙනෙක් වෙත් නම්, ඒ නිමිති කොට (හස්තිශික්‍ෂාදි) අනෙක ශික්‍ෂා උගන්නා ලැබෙත්. (නුවණැති කුලපුත්‍ර තෙමේ) ඒ පස්කම්ගුණයන්හි හෝ හස්තිශික්‍ෂාදියෙහි ප්‍රයුක්ත වූයේ නො වන්නේ ය. (එහෙයින්) වස්තුකාමක්ලෙශකාමයන් සර්‍වාකාරයෙන් (අනිත්‍යාදි දර්‍ශනයෙන්) ප්‍රතිවේධ කොට තමාගේ (රාගාදිය) නිවීමට හික්මෙන්නේ යි.
තත්‍ථ සික්ඛානුගීයන්ති යානි ලෝකේ ගථිතානි - ‘සික්ඛා’ යනු: හස්තිශික්‍ෂා යැ අශ්වශික්‍ෂා යැ රථශික්‍ෂා යැ ධනුශ්ශික්‍ෂා යැ ශාලාක්‍යතන්ත්‍ර යැ ශල්‍යකර්‍ම යැ කායචිකිත්සා යැ භෞතිකවිද්‍යා යැ කෞමාරභෘත්‍ය යි. ගීයන්ති යනු: ගයනු ලැබෙති, කියනු ලැබෙති, බණනු ලැබෙති, දක්වනු ලැබෙති, ව්‍යවහාර කරනු ලැබෙත්. නොහොත් ගීයන්ති - පස්කම්ගුණ ප්‍රතිලාභය සඳහා ගන්නා ලැබෙති, උගන්නා ලැබෙති, දරනු ලැබෙති, විමසනු ලැබෙති, සලකනු ලැබෙත්. ‘ගථිත’ යී පස්කම්ගුණයෝ කියනු ලැබෙත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව වූ කාමාස්වාදයෙන් යුත් ඇලුම් කටයුතු වූ චක්‍ෂුර්විඥානයෙන් දැක්කයුතු රූපයෝ යි. කවර කරුණෙකින් පස්කම්ගුණයෝ ‘ගථිත’ යි කියනු ලැබෙති යත්: බොහෝසෙයින් දිව්‍යමනුෂ්‍යයෝ පස්කම්ගුණයන් කැමැති වෙති, ඉවසති, පතති, රුචි කෙරෙති, අභිජල්පනය කෙරෙත්; එකරුණෙන් පස්කම්ගුණයෝ ‘ගථිත’ යි කියනු ලැබෙත්. ලෝකේ යනු: මිනිස්ලොවැ … ආයතනලෝකයෙහි නුයි ‘තත්‍ථ සික්ඛානුගීයන්ති යානි ලෝකේ ගථිතානි’ යනු වේ.
න තෙසු පසුතො සියා - ඒ ශික්‍ෂාවන්හි හෝ ඒ පස්කම්ගුණයන්හි හෝ නො ඇලුණේ වන්නේ යැ, ඊට නැමුණේ නො වන්නේ යැ, ඊට නැබුරු වූයේ නො වන්නේ යැ, ඊට බර වූයේ නො වන්නේ යැ, එහි මුසපත් වූයේ නො වන්නේ යැ, එය අධිපති කොට ඇත්තේ නො වන්නේ නුයි ‘න තෙසු පසුතො සියා’ යනු වේ.
නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ - ‘නිබ්බිජ්ඣ’ යනු: ප්‍රතිවේධ කොට ’සියලු සංස්කාරයෝ අනිත්‍යයහ’ යි ප්‍රතිවේධ කොට ‘සියලු සංස්කාරයෝ දුක්හ’ යි ප්‍රතිවේධ කොට … ‘යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාව ඇතැ’ යි ප්‍රතිවේධ කොට; සබ්බසො යනු: සියල්ලෙන් සියල්ල සියලු ලෙසින් සියල්ල අශේෂ කොට නිශෙශෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි මේ ‘සබ්බසො’ යනු. කාමා යනු: විස්තර හෙයින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ’ යි … මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත් නුයි ‘නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ’ යනු වේ.
සික්ඛෙ නිබ්බානමත්තනො - ‘සික්ඛා’ නම්: ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්‍ෂා යැ අධිප්‍රඥාශික්‍ෂා යැයි … මෝ අධිප්‍රඥාශික්‍ෂා යි. නිබ්බානමත්තනො යනු තමාගේ රාගය නිවීමට ද්වේෂය නිවීමට මෝහය නිවීමට … සියලු අකුශලාභිසංස්කාරයන් ශමනයට මතු මත්තෙහි ශමනයට සන්හිඳුවීමට නිර්‍වාපණයට (මාර්‍ගයෙන්) දුරලීමට (ඵලයෙන්) අපුනරුත්පත්තියට අධිශීලයෙහි ද හික්මෙන්නේ යැ, අධිචිත්තයෙහි ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේ ය.
මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේ යැ, දැනගනිමින් හික්මෙන්නේ යැ … ප්‍රත්‍යක්‍ෂ කටයුතු නිවන ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ, මොනොවට හැසිරෙන්නේ යැ, සමාදන් වැ පවත්නේ නුයි ‘සික්ඛෙ නිබ්බානමත්තනො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තත්‍ථ සික්ඛානුගීයන්ති -පෙ- සික්ඛෙ නිබ්බානමත්තනො” යී.
15. 7.
(නිවනට හික්මෙන) මුනි තෙම සත්‍යයෙන් යුක්ත වූයේ වන්නේ යැ ප්‍රාගල්භ්‍ය රහිත වන්නේ ය, මායාවෙන් වෙන් වූයේ වන්නේ යැ, ප්‍රහීණ කළ පෛශුන්‍ය ඇත්තේ වන්නේ යැ, ක්‍රෝධ නො කරනුයේ ලොභපාපය ද මාත්සර්‍ය්‍යය ද ඉක්මවන්නේ යි.
සච්චො සියා අප්පගබ්භො - ‘සච්චො සියා’ යනු: සත්‍යවචනයෙන් සමන්‍විත වූයේ වන්නේ යැ, සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍විත වූයේ වන්නේ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සමන්‍විත වූයේ වන්නේ නුයි, ‘සච්චො සියා’ යනු වේ. අප්පගබ්භො යනු: ප්‍රාගල්භ්‍ය තුනෙකි: කායිකප්‍රාගල්භ්‍ය යැ වාචසිකප්‍රාගල්භ්‍ය යැ චෛතසිකප්‍රාගල්භ්‍ය යැයි … මේ චෛතසිකප්‍රාගල්භ්‍ය යයි. යමක්හු විසින් මේ තුන් ප්‍රාගල්භ්‍යයෝ ප්‍රහීණ කරන ලද්දාහු මුලසුන් කරන ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු ද, හේ ‘අප්පගබ්භ’ යී කියනු ලැබේ නුයි ‘සච්චො සියා අප්පගබ්භො’ යනු වේ.
අමායො රිත්තපෙසුනො - ‘මායා’ යී වාඤ්චනික හැසිරීම කියනු ලැබෙයි. මෙහි කිසිවෙක් කයින් දුසිරිතෙහි හැසිර, බසින් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, එය වසනු නිසා ලාමක ආශාව පිහිටුවයි; ‘නහමක් මා දනීව’ යි කැමැති වෙයි; ‘නහමක් මා දනීව’ යි සලකයි; ‘නහමක් මා දනීව’ යි වචන කියයි; ‘නහමක් මා දනීව’ යි කයින් වෑයම් කෙරෙයි; මෙබඳු වූ යම් මායාවක් මායා ඇතිබවක් ඉක්මැයෑමක් වඤ්චාවක් (ප්‍රතිරූපයෙන් රවටන) නිකෘතියක් (පාපය) යටපත් කිරීමක් බැහැර කිරීමක් සැඟවීමක් හාත්පසින් සැඟවීමක් වැසීමක් හාත්පසින් වැසීමක් ප්‍රකාශ නො කිරීමක් ප්‍රකට නො කිරීමක් මොනොවට වැසීමක් පාපක්‍රියාවක් වේ ද, මෝ මායා යී කියනු ලබයි. යමක්හු විසින් තෙල මායාව ප්‍රහීණ කරන ලද්දී මුලුසුන් කරන ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී අභව්‍යොත්පත්තිකක වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, හෙතෙම ‘අමාය’ යී කියනු ලැබෙයි. රිත්තපෙසුනො ‘පෙසුඤ්ඤ’ නම්: මෙහි කිසිවෙක් පිසුනුබස් කියන්නේ වෙයි … මෙසේ බිඳුවන අදහස් ඇතියේ පිසුනුබස් එළවා කියයි. යමකු විසින් තෙල පෛශුන්‍යය ප්‍රහීණ කරන ලද ද මුල් සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘රිත්තපෙසුන’ යැ විවිත්තපෙසුන යැ පවිවිත්තපෙසුන යැයි කියනු ලැබේනුයි - ‘අමායො රිත්තපෙසුනො’ යනු වේ.