15. 5.
යම් රාගාදී ශල්‍යයෙකින් අවතීර්‍ණ වූ (-විදුනා ලද) සත්ත්‍ව තෙමේ සියලු දිගට දිවෙන්නේ ද, (එහෙයින්) ඒ ශල්‍යය මැ උදුරාපියා (සියලු දිගට සියලු ගති ආදියෙහි) නො දිවෙයි. (චතුරෝඝයෙහි) නො ගැලේ.
යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති - ‘සලල’ නම්: සත් ශල්‍ය කෙනෙකි: රාගශල්‍ය යැ ද්වෙෂශල්‍ය යැ මොහශල්‍ය යැ මානශල්‍ය යැ දෘෂ්ටිශල්‍ය යැ ශෝකශල්‍ය යැ කථඞ්කථාශල්‍ය යි.
රාගශල්‍යය කවරැ යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් නැවත නැවත පැමිණැවීමෙක් කැමැති වීමෙක් නන්දි සඞ්ඛ්‍යාත රාගයෙක් චිත්තයා ගේ බලවද්රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද මේ රාගශල්‍ය යි.
ද්වෙෂශල්‍යය කවරැ යත්: ‘මට අනර්‍තථ කළැ’ යි ආඝාත උපදී, ‘මට අනර්‍තථ කෙරෙයි’ ආඝාත උපදී, ‘මට අනර්‍තථ කරන්නේ වනැ’ යි ආඝාත උපදී … සැඩබවෙක් නො පිරුණු වචන ඇතිබවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ද්වෙෂශල්‍ය යි.
මෝහශල්‍යය කවරැ යත්: දුඃඛසත්‍යයෙහි නො දැනීම … දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි නො දැනීම, පූර්‍වාන්තයෙහි … අපරාන්තයෙහි … පූර්‍වාපරාන්තයෙහි නො දැනීම, ඉදම්ප්‍රත්‍යතා සඞ්ඛ්‍යාත ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි නො දැනීම (යන) මෙ බඳු වූ යම් නො දැක්මෙක් (දහම්) නො දැනීමෙක් (අනුරූප වශයෙන්) නො දැනීමෙක් අවබෝධ නො කිරීමෙක් ප්‍රතිවේධ නො කිරීමෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) නො ගැනීමෙක් හාත්පසින් බැස නො ගැනීමෙක් සමව නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් (චිත්තසන්තානයාගේ) අපවිත්‍ර බවෙක් බාලබවෙක් මෝහයෙක් බලවත් මෝහයෙක් සම්මොහයෙක් අවිද්‍යාවක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපරියුට්ඨානයෙ (සිත මැඩගැනීමෙ) ක් අවිද්‍යා නමැති කනයමක් මෝහ අකුශලමූලයෙක් වේ ද, මේ මොහශල්‍ය යි.
මානශල්‍යය කවරැ යත්: ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ මානය වෙයි, ‘මම් සදෘශ වෙමි’ මානය වෙයි,‘මම් හීන වෙමි’ මානය වෙයි. මෙබඳු වූ යම් මානයෙක් මානාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් ඔසවා තැබීමෙක් මානධ්වජයෙක් දැඩිව ගැනීමෙක් චිත්තයාගේ කෙතුකම්‍යතාවක් වේ ද, මේ මානශල්‍ය යි.
දෘෂ්ටිශල්‍යය කවරැ යත්: විංශතිවස්තුක සත්කායදෘෂ්ටිය දශවස්තුකමිත්‍ථ්‍යාදෘෂ්ටිය දශවස්තුක අන්තග්‍රාහිකා දෘෂ්ටිය (යන) මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් (සම්‍යග්දෂ්ටිය විනිවිදින හෙයින්) දෘෂ්ටිවිසූකායිකයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණ දැඩිව) ගැනීමෙක් පිහිටාගැනීමෙක් (නිත්‍යාදි වශයෙන්) අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීර්‍තථායතනයෙක් විපර්‍ය්‍යාසයෙන් ගැනීමෙක් විපරීත ව ගැනීමෙක් (නිත්‍යාදි වශයෙන්) පරිවර්‍තන කොට ගැනීමෙක් මිත්‍ථ්‍යාග්‍රාහයෙක් අස්වාභාවයෙහි ස්වභාව යයි ගැනීමෙක් වේ ද, යම් පමණ ද්වාෂෂ්ටි දෘෂ්ටිගතයෝ වෙත් ද, මේ දෘෂ්ටිශල්‍ය යි.
ශෝකශල්‍යය කවරැ යත්: ඥාතිව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ භොගව්‍යසනෙයෙන් හෝ මඩනා ලදහුගේ රොගව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ ශීලව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛධර්‍මයෙකින් මඩනා ලදහුගේ ශෝකයෙක් ශොකාකාරයෙක් ශෝක කළ බවෙක් අන්තර්ශොකයෙක් ඇතුළත හාත්පසින් ශෝක කිරීමෙක් අන්තර්දාහයෙක් ඇතුළත හාත්පසින් දැවීමෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් වේ ද, මේ ශෝකශල්‍ය යි.