15. 4.
යළි (යෞවනාදීන්ගේ) අවසානයෙහි මැ (ජරාදිය සමග) ප්‍රතිවිරුද්ධ වූ සත්ත්‍වයන් දැක මට අනභිරතිය උපන. අනතුරුව තෙල සත්ත්‍වයන් විෂයෙහි වූ නො දැක්ක හැකි සිත ඇසුරු කළ රාගාදි (සප්ත විධ) ශල්‍යය දිටිමි.
ඔසානෙ ත්‍ථෙව බ්‍යාරුද්ධෙ - ‘ඔසානෙ ත්‍වෙව’ යනු: ජරාව සියලු යොවුන් බව අවසාන කෙරෙයි, ව්‍යාධිය සියලු අරෝග බව අවසාන කෙරෙයි, මරණය සියලු ජීවිතය අවසාන කෙරෙයි, සියලු ලාභය අලාභය තෙමේ අවසාන කෙරෙයි, සියලු යශස් අපකීර්ත්තිය අවසාන කෙරෙයි, නින්‍දාව සියලු පැසැසුම් අවසාන කෙරෙයි, දුක සියලු සුවය අවසාන කෙරේ නුයි ‘ඔසානෙ ත්‍වෙව’ යනු වේ. බ්‍යාරුද්ධෙ - යොවුන් බව කැමැති සත්ත්‍වයෝ ජරාව හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, ආරෝග්‍යය කැමැති සත්ත්‍වයෝ ව්‍යාධිය හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, ජීවත්වනු කැමැති සත්ත්‍වයෝ මරණය සමග ප්‍රතිවිරුද්ධ වූවාහුය, කැමැති සත්ත්‍වයෝ මරණය සමග ප්‍රතිවිරුද්ධ වූවාහුය, ලාභ කැමැති සත්ත්‍වයෝ අලාභය හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, ප්‍රශංසා කැමැති සත්ත්‍වයෝ නින්‍දාව හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, සුව කැමැති සත්ත්‍වයෝ දුක හා ප්‍රතිවිරුද්ධ වූවාහුය (කෝපයෙන්) පහළාහු පිළිමල් වැ පහළාහු ගැටුණාහු වෙසෙසින් ගැටුණාහු නුයි ‘ඔසානෙ ත්‍වෙව බ්‍යාරුද්ධෙ’ යනු වේ.
දිස්වා මෙ අරතී අහු - ‘දිස්වා’ යනු: දැක පෙනී තුලනය කොට තීරණය කොට වෙසෙසින් සලකා විභූත කොට නුයි ‘දිස්වා’ යනු වේ. මෙ අරති යනු: යම් නො ඇල්මෙක් යම් නො ඇලුණු බවෙක් යම් නො ඇලුණු අයුරෙක් යම් උකටලිබවෙක් යම් හාත්පසින් බියවන බවෙක් වී නුයි ‘දිස්වා මෙ අරතී අහු’ යනු වේ.
අථෙත්‍ථ සල්ලමද්දක්ඛිං - ‘අථ’ යනු: පදසන්‍ධියැ … පදානුපූර්‍වතා යැ තෙල ‘අථ’ යනු. එත්‍ථ යනු : සත්ත්‍වයන් විෂයෙහි; සල්ල නම්: සත් ශල්‍ය කෙනෙකි: රාගශල්‍ය යැ ද්වෙෂශල්‍ය යැ මොහශල්‍ය යැ මානශල්‍ය යැ දෘෂ්ටිශල්‍ය යැ ශෝකශල්‍ය යැ කථඞ්කථාශල්‍ය යැ’ යි; අද්දක්ඛිං යනු: දිටිමි අවබෝධ කෙළෙම් නුයි ‘අථෙත්‍ථ සල්ලමද්දක්ඛිං’ යනු වේ.
දුද්දසං හදයස්සිතං - ‘දුද්දසං’ යනු: දුදර්‍ශ යැ නො දැක්ක හැකි යැ නො බැලියැ හැකි යැ නො දත හැකි යැ අවබෝධ කළ නො හැකි යැ ප්‍රතිවේධ කළ නො හැක්කැයි ‘දුද්දසං’ යනු වේ. හදයස්සිතං යනු: ‘හදය’ යි සිත කියනු ලැබෙයි; යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් භවාඞ්ගසිතෙක් මනසක් මනසඞ්ඛ්‍යාත ආයතනයෙක් මනෙන්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද එය යි. හෘදය (- සිත) ඇසුරු කළ හෘදයනිඃශ්‍රිත වූ සිත ඇසුරු කළ චිත්තනිඃශ්‍රිත වූ සිත හා සහගත (-නො වෙන්) වූ සමග උපන් සංසෘෂ්ට වූ සම්ප්‍රයුක්ත වූ එක් වැ උපදනා එක් වැ නිරුද්ධ වන (හෘදයවස්තු වශයෙන්) ඒකවස්තුක වූ (රූපාදි වශයෙන්) ඒකාලම්බන වූයේ නුයි ‘දුද්දසං හදයස්සිතං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඔසානෙ ත්‍වෙව බ්‍යාරුද්ධෙ -පෙ- දුද්දසං හදයස්සිතං” යී.
15. 5.
යම් රාගාදී ශල්‍යයෙකින් අවතීර්‍ණ වූ (-විදුනා ලද) සත්ත්‍ව තෙමේ සියලු දිගට දිවෙන්නේ ද, (එහෙයින්) ඒ ශල්‍යය මැ උදුරාපියා (සියලු දිගට සියලු ගති ආදියෙහි) නො දිවෙයි. (චතුරෝඝයෙහි) නො ගැලේ.
යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති - ‘සලල’ නම්: සත් ශල්‍ය කෙනෙකි: රාගශල්‍ය යැ ද්වෙෂශල්‍ය යැ මොහශල්‍ය යැ මානශල්‍ය යැ දෘෂ්ටිශල්‍ය යැ ශෝකශල්‍ය යැ කථඞ්කථාශල්‍ය යි.
රාගශල්‍යය කවරැ යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් නැවත නැවත පැමිණැවීමෙක් කැමැති වීමෙක් නන්දි සඞ්ඛ්‍යාත රාගයෙක් චිත්තයා ගේ බලවද්රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද මේ රාගශල්‍ය යි.
ද්වෙෂශල්‍යය කවරැ යත්: ‘මට අනර්‍තථ කළැ’ යි ආඝාත උපදී, ‘මට අනර්‍තථ කෙරෙයි’ ආඝාත උපදී, ‘මට අනර්‍තථ කරන්නේ වනැ’ යි ආඝාත උපදී … සැඩබවෙක් නො පිරුණු වචන ඇතිබවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ද්වෙෂශල්‍ය යි.