15. 20.
ක්‍ෂීණාස්‍රව මුනි තෙම (මාන විසින් තමා) සම වූවන් කෙරෙහි ලා නො කියයි, හීනයන් කෙරෙහි ලා නො කියයි, ශ්‍රේෂ්ඨයන් කෙරෙහි ලා නො කියයි. සන්හුන් කෙලෙස් ඇති පහවැගිය මාත්සර්‍ය්‍ය ඇති හෙතෙම (රූපාදි කිසි ධර්‍මයක්) නො ගනී, (එහෙයින් ම) නො බැහැර කෙරෙයි. බුදුහු මෙසේ වදාළ සේකි.
න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි - ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂජානනයක් … සඞ්ගජාලය ඉක්මවා සිටි හෙතෙම ‘මුනි’ වේ යයි. මුනි තෙම ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ හෝ ‘මම් සදෘශයෙමි’ හෝ ‘මම් හීනයෙමි’ හෝ නො පවසයි, නො කියයි, නො බෙණෙයි, නො දක්වයි, ව්‍යවහාර නො කෙරේ නුයි ‘න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි’ යනු වේ.
සන්තෝ සො වීතමච්ඡෙරො - ‘සන්තෝ’ යනු: රාගය ශාන්ත හෙයින් ශෂිත හෙයින් ‘ශාන්ත යැ, ද්වේෂය - මෝහය …. සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත වන බැවින් ශමිත වන බැවින් ව්‍යුපශමිත වන බැවින් දවන ලද බැවින් නිවුණු බැවින් විගත වන බැවින් දුරලන ලද බැවින් ශාන්ත යැ උපශාන්ත යැ ව්‍යුපශාන්ත යැ නිවුණේ යැ දුරලූ කෙලෙස් ඇත්තේ නුයි ‘සන්තෝ සො’ යනු වේ. වීතමච්ඡෙරො - මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාසමාත්සර්‍ය්‍ය යැ … ග්‍රාහ යැ; මේ මාත්සර්‍ය්‍ය යැයි කියනු ලැබේ. යමක්හු විසින් තෙල මාත්සර්‍ය්‍යය ප්‍රහීණ කරන ලද ද, හෙතෙම වීතමාත්සර්‍ය්‍ය යැ, විගතමාත්සර්‍ය්‍ය යැ, ත්‍යක්තමාත්සර්‍ය්‍ය යැ, වාන්තමාත්සර්‍ය්‍ය යැ, මුක්තමාත්සර්‍ය්‍ය යැ, ප්‍රහීණ කළ මාත්සර්‍ය්‍ය ඇත්තේ යැ, දුරලූ මාත්සර්‍ය්‍ය ඇත්තේ යැයි කියනු ලැබේ නුයි ‘සන්තෝ සො වීතමච්ඡෙරො’ යනු වේ.
නාදෙති න නිරස්සතීති භගවා - ‘නාදෙති’ යනු: රූපය නො ගනී, දැඩිව නො ගනී, ග්‍රහණ්‍ය නො කෙරෙයි, පරාමර්‍ශනය නො කෙරෙයි, අභිනිවේශය නො කෙරෙයි; වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය - වෘත්තය ආදානය නො කෙරෙයි, උපාදාන - ග්‍රහණ - පරාමර්‍ශ - අභිනිවේශ නො කෙරේ නුයි ‘නාදෙති’ යනු වේ. න නිරස්සති යනු: රූපය නො දුරු කෙරෙයි, නො බැහැර කෙරෙයි, විගතාන්ත නො කෙරෙයි, අනභාවයට නො පමුණුවයි; වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය - වෘත්තය නො හැරපියයි, නො බැහැර කෙරෙයි, විගතාන්ත නො කෙරෙයි, අනභාවයට නො පමුණුවයි; භගවා යනු; ගෞරවාධි වචන යැ … මේ ‘භගවා’ යනු අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකැ’ යි ‘නාදෙති න නිරස්සතීති භගවා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න සමෙසු න ඔමෙසු -පෙ- නාදෙති න නිරස්සතීති භගවා” යී.
පසළොස්වැනි ‘අත්තදණ්ඩ’ සූත්‍ර නිර්‍දෙශය සමාප්ත යි.
16.
සාරිපුත්‌තසූත්‍රනිර්දේශය
ඉක්බිති සාරිපුත්තසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ.
16. 1.
(ආයුෂ්මත් ශාරිපුත්‍රයෝ මෙසේ වදාළහ:) මෙසේ මිහිරි වදන් ඇති තුෂිත දෙව්ලොවින් සැව මවුකුසට පැමිණි, නොහොත් දෙව්ලොවින් ගණ මැදට පැමිණි, හෝ රහත්ගණයා මැදට පැමිණි, නොහොත් රහතුන්ගේ ගණාචාර්‍ය්‍ය බවට පැමිණි ශාස්තෲහු මෙයින් පෙර මා විසින් නො දක්නා ලදහු වෙති (පෙර මේ දර්‍ශනය නො වී යැ යි සේ යැ.) නොහොත් කිසිවක්හු ගේ බසින් නො අසන ලදහු වෙත්.
න මෙ දිට්ඨො ඉතො පුබ්බේ - මෙයින් (මේ සංකස්ස නගරයට බැසීමෙන්) පෙර මෙ - මා විසින් ඒ බුදුහු මේ ඇසින් මේ අත්බවින් නො දුටුවිරූහ. යම් දවසෙක බුදුහු තව්තිසාබවනෙහි පරසතුමුල පඬුඇඹුල් සලයෙහි වස් විසූ සේක් දෙව්ගණා විසින් පිරිවරන ලද්දාහු මැද මිණිමුවා හිණින් සකස්පුරට බටුවාහු ද, මේ දර්‍ශනය මිස පෙර නො දුටුවිරූහු නුයි ‘න මෙ දිට්ඨො ඉතො පුබ්බේ’ යනු වේ.
ඉච්චායස්මා සාරිපුත්තො - ‘ඉච්ච’ යනු: පදසන්‍ධි යැ, පදසංසර්‍ග යැ, පදපරිපූර්‍ණතා යැ, අක්‍ෂරසමවාය යැ, ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ, පදානුපූර්‍වතා යැ, තෙල ‘ඉච්ච’ යනු. ආයස්මා යනු: ප්‍රියවචන යැ, ගරුවචන යැ, සගෞරව සප්‍රතිශ්‍රයවචනයෙකි, තෙල ‘ආයස්මා’ යනු. සාරිපුත්තො යනු: ඒ තෙරණුවන්ගේ නම් යැ, සඞ්ඛ්‍යා යැ, සංඥා යැ,ප්‍රඥප්ති යැ, ව්‍යවහාර යැ, නාම යැ, නාමකර්‍ම යැ, නාමධෙය යැ, නිරුක්ති යැ, බ්‍යඤ්ජන ය, අභිලාප නුයි ‘ඉච්චායස්මා සාරිපුත්තො’ යනු වේ.