15. 19.
තෘෂ්ණා රහිත වූ (සංස්කාරයන් දුඃඛාදි වශයෙන්) දතුවහුට (පුණ්යාභිසංස්කාරාදි) කිසි සංස්කාරයක් නැත. හෙතෙම සංස්කාරයෙන් වෙන් වූයේ සියලු තැන්හි ක්ෂේමය (-අභය) දක්නේ යි.
අනෙජස්ස විජානතො - ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් බලවත් රාගයෙක් … අභිධ්යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල එජා සඞ්ඛ්යාත තෘෂ්ණාව ප්රහීණ කරන ලද්දී සමුච්ඡින්න වූවා … ඥානාග්නීන් දවන ලද්දී ද, හෙතෙම ‘අනෙජ’ යී කියනු ලැබෙයි, එජාව ප්රහීණ වන බැවින් ‘අනෙජ’ යැ. හෙතෙම ලාභයෙහි දු කම්පා නො වෙයි. අලාභයෙහි දු කම්පා නො වෙයි, යශස්හි දු කම්පා නො වෙයි, අයශස්හි දු කම්පා නො වෙයි, ප්රශංසායෙහි දු කම්පා නො වෙයි, නින්දායෙහි දු කම්පා නො වෙයි, සුඛයෙහි දු කම්පා නො වෙයි, දුඃඛයෙහි දු කම්පා නො වෙයි; නො සැලෙයි, නො වෙවුලයි, අතිශයින් නො වෙවුලයි. අනෙජස්ස විජානතො - දතුවහුට වෙසෙසින් දතුවහුට ප්රතිවේධ කරන්නහුට; ‘සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි … යම් කිසිවක් සමුදයධර්ම නම්, ඒ සියල්ල නැසෙනසුලු යැ’ යි දන්නහුට හාත්පසින් දන්නහුට වෙසෙසින් දන්නහුට ප්රකර්ෂයෙන් දන්නහුට ප්රතිවේධ කරන්නහුට නුයි ‘අනෙජස්ස විජානතො’ යනු වේ.
නත්ථි කාචි නිසංඛිති - ‘නිසංඛිති’ යැයි පුණ්යාභිසංස්කාරය ද අපුණ්යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද කියනු ලැබෙති. යම් තැනෙක පටන් පුණ්යාභිසංස්කාරය ද අපුණ්යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකින් ‘නිසංඛිතිහු’ නැත, නො වෙති, විද්යමාන නො වෙති, නො ලැබෙත්, ප්රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්යොත්පත්තික වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘නත්ථි කාචි නිසංඛිති’ යනු වේ.
විරතො සො වියාරම්භා - ‘වියාරම්භ’ යී පුණ්යාභිසංස්කාරය අපුණ්යාභිසංස්කාරය ආනෙඤ්ජාභිසංස්කාරය කියනු ලැබෙයි. යම් තැනෙක පටන් පුණ්යාභිසංස්කාරය ද අපුණ්යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්රහීණ වූවාහු උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, එ තැන් සිට (පුණ්යාභිසංස්කාරාදි) ආරම්භයෙන් විවිධාරම්භයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ වෙන් වැ ගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ වන්නේ ය, විගතමර්ය්යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘විරතො සො වියාරම්භා’ යනු වේ.
ඛේමං පස්සති සබ්බධි - රාගය බියකරු යැ ද්වේෂය බියකරු යැ මෝහය බියකරු යැ … ක්ලේශයෝ බියකරුහු යැ, බියකරු රාගය ප්රහීණ කළ බැවින් සියලු තැන්හි ක්ෂේමය දකී, සියලු තැන්හි අභය දකී, සියලු තැන්හි පීඩා රහිත බව දකී, සියලු තැන්හි අනුපද්රවය දකී, සියලු තැන්හි නො ගැටුණු බව දකී නුයි ‘ඛේමං පස්සති සබ්බධි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අනෙජස්ස විජානතො -පෙ- ඛේමං පස්සති සබ්බධි” යී.
15. 20.
ක්ෂීණාස්රව මුනි තෙම (මාන විසින් තමා) සම වූවන් කෙරෙහි ලා නො කියයි, හීනයන් කෙරෙහි ලා නො කියයි, ශ්රේෂ්ඨයන් කෙරෙහි ලා නො කියයි. සන්හුන් කෙලෙස් ඇති පහවැගිය මාත්සර්ය්ය ඇති හෙතෙම (රූපාදි කිසි ධර්මයක්) නො ගනී, (එහෙයින් ම) නො බැහැර කෙරෙයි. බුදුහු මෙසේ වදාළ සේකි.
න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි - ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි, යම් ප්රඥාවක් ප්රකර්ෂජානනයක් … සඞ්ගජාලය ඉක්මවා සිටි හෙතෙම ‘මුනි’ වේ යයි. මුනි තෙම ‘මම් ශ්රේෂ්ඨ වෙමී’ හෝ ‘මම් සදෘශයෙමි’ හෝ ‘මම් හීනයෙමි’ හෝ නො පවසයි, නො කියයි, නො බෙණෙයි, නො දක්වයි, ව්යවහාර නො කෙරේ නුයි ‘න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි’ යනු වේ.
සන්තෝ සො වීතමච්ඡෙරො - ‘සන්තෝ’ යනු: රාගය ශාන්ත හෙයින් ශෂිත හෙයින් ‘ශාන්ත යැ, ද්වේෂය - මෝහය …. සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත වන බැවින් ශමිත වන බැවින් ව්යුපශමිත වන බැවින් දවන ලද බැවින් නිවුණු බැවින් විගත වන බැවින් දුරලන ලද බැවින් ශාන්ත යැ උපශාන්ත යැ ව්යුපශාන්ත යැ නිවුණේ යැ දුරලූ කෙලෙස් ඇත්තේ නුයි ‘සන්තෝ සො’ යනු වේ. වීතමච්ඡෙරො - මාත්සර්ය්ය පසෙකි: ආවාසමාත්සර්ය්ය යැ … ග්රාහ යැ; මේ මාත්සර්ය්ය යැයි කියනු ලැබේ. යමක්හු විසින් තෙල මාත්සර්ය්යය ප්රහීණ කරන ලද ද, හෙතෙම වීතමාත්සර්ය්ය යැ, විගතමාත්සර්ය්ය යැ, ත්යක්තමාත්සර්ය්ය යැ, වාන්තමාත්සර්ය්ය යැ, මුක්තමාත්සර්ය්ය යැ, ප්රහීණ කළ මාත්සර්ය්ය ඇත්තේ යැ, දුරලූ මාත්සර්ය්ය ඇත්තේ යැයි කියනු ලැබේ නුයි ‘සන්තෝ සො වීතමච්ඡෙරො’ යනු වේ.