15. 18.
ඒ කම්පා නො වනසුලු පුද්ගලයා පුළුවුස්නා ලද මම ‘(හේ) ඊර්‍ෂ්‍යා නැත්තෙක, (රූපාදියෙහි) නො ගිජු වූයෙක, තෘෂ්ණා රහිතයෙක, සියලු තැන්හි සම පැවැතුම් ඇත්තෙක’ යන (ඔහු කෙරෙහි) මේ සතර අනුසස කියමි.
අනිට්ඨුරී අනනුගිද්ධො අනෙජො සබ්බධි සමො - නෛෂ්ඨුර්‍ය්‍යය කවරැ යත්: මෙහි කිසිවෙක් අන්‍යයාගේ ලාභ - සත්කාර - ගරු - බුහුමන් - වැඳුම් - පිදුම්හි ඊර්‍ෂ්‍යා ඇත්තේ වෙයි, ඊර්‍ෂ්‍යා කෙරෙයි, දොස් පහළ කෙරෙයි, ඊර්‍ෂ්‍යාව බඳී. මෙබඳු වූ යම් නිෂ්ඨුර බවෙක් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යාකාරයෙක් ඊර්‍ෂ්‍යා කරන බවෙක්, අසූයාවක් (-දොස් පහළකිරීමක්) අසූයාකාරයෙක් දොස් පහළ කරන බවෙක් වේ ද, මේ නෛෂ්ඨුර්‍ය්‍ය යි. යමක්හු විසින් තෙල නිෂ්ඨුරබව ප්‍රහීණ කරන ලද ද, සමුච්ඡින්න ද … ඥානාග්නීන් දග්ධ ද, හේ ‘අනිට්ඨුරී’ යයි කියනු ලැබේ. අනනුගිද්ධො යනු: ‘ගේධ’ යී තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් අධික රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එය යි. යමක්හු විසින් තෙල ගේධය දුරු කරන ලද ද නසන ලද ද … නුවණ ගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘අනනුගිද්ධ’ යයි කියනු ලැබේ, හෙතෙම රූපයෙහි නො ගිජු වූයේ ශබ්දයෙහි … දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍යධර්‍මයන්හි නො ගිජු වූයේ නො බැඳුණේ මුසපත් නො වූයේ නො වැතුරුණේ පහවූ ගේධ (-තෘෂ්ණා) ඇත්තේ පහවැ ගිය තෘෂ්ණා ඇත්තේ හළ තෘෂ්ණා ඇත්තේ වමනය කළ තෘෂ්ණා ඇත්තේ මුදන ලද තෘෂ්ණා ඇත්තේ ප්‍රහීණ කළ තෘෂ්ණා ඇත්තේ දුරලූ තෘෂ්ණා ඇත්තේ වීතරාග වූයේ විගත රාග - ත්‍යක්තරාග - වාන්ත රාග - මුක්තරාග - ප්‍රහීණරාග වූයේ දුරැලූ රාග ඇත්තේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනසුලු වූයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘අනිට්ඨුරී අනනුගිද්ධො’ යනු වේ.
අනෙජො සබ්බධි සමො - ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සිඳින ලද්දී … නුවණ ගින්නෙන් දවන ලද්දී ද, හේ ‘අනෙජ’ යයි කියනු ලැබෙයි. එජාව ප්‍රහීණ වන බැවින් ‘අනෙජ’ යැ. හේ ලාභයෙහි දු නො සැලෙයි, අලාභයෙහි දු නො සැලෙයි, යශස්හි දු නො සැලෙයි, අයශස්හි දු නො සැලෙයි, ප්‍රශංසායෙහි දු නො සැලෙයි, නින්‍දායෙහි දු නො සැලෙයි, සුඛයෙහි දු නො සැලෙයි, දුඃඛයෙහි දු නො සැලෙයි; චඤ්චල නො වෙයි, නො වෙවුලයි, වෙසෙසින් නො වෙවුලයි, හාත්පසින් නො වෙවුලා නුයි ‘අනෙජ’ යැ. සබ්බධි සමො යනු ‘සබ්බධි’ යී දොළොස් ආයතනය කියනු ලැබෙයි: ඇස ද රූපයෝ ද … මනස ද ධර්‍මයෝ දැ’ යි. යම් තැනෙක සිට ආධ්‍යාත්මික බාහ්‍යායතනයන්හි ඡන්‍දරාගය ප්‍රහීණ වූයේ ද උසුන් මුල් ඇත්තේ ද තාලවස්තුවක් මෙන් කරන ලද්දේ ද, අනුඅභාවය කරන ලද්දේ ද මතු නූපදනා සැහැවි ඇත්තේ ද, හෙතෙම ‘සබ්බධි සම’ යයි කියනු ලැබේ. හේ සියලු තැන තාදී යැ, සියලු තැන මධ්‍යස්ථ යැ සියලු තැන උපේක්‍ෂා සහිත වූයේ නුයි ‘අනෙජො සබ්බධි සමො’ යනු වේ.
තමානිසංසං පබ්‍රෑමි පුච්ඡිතො අවිකම්පිනං - කම්පා නො වනසුලු පුද්ගලයා පුළුවුස්නා ලදුයෙම් විචාරන ලදුයෙම් අයදන ලදුයෙම් අධ්‍යෙෂිත වූයෙම් පහදවන ලදුයෙම් මේ සතර අනුසසුන් කියමි: හෙතෙම ඊර්‍ෂ්‍යා නැත්තේ යැ, ගිජු නො වූයේ යැ, තෘෂ්ණා රහිත යැ, සියලු තන්හි සමයැයි කියමි, පවසමි … ප්‍රකාශ කෙරෙම් නුයි ‘තමානිසංසං පබ්‍රෑමි පුච්ඡිතො අවිකම්පිනං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අනිට්ඨුරී අනනුගිද්ධො -පෙ- පුච්ඡිතො අවිකම්පිනං” යී.
15. 19.
තෘෂ්ණා රහිත වූ (සංස්කාරයන් දුඃඛාදි වශයෙන්) දතුවහුට (පුණ්‍යාභිසංස්කාරාදි) කිසි සංස්කාරයක් නැත. හෙතෙම සංස්කාරයෙන් වෙන් වූයේ සියලු තැන්හි ක්‍ෂේමය (-අභය) දක්නේ යි.
අනෙජස්ස විජානතො - ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් බලවත් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සමුච්ඡින්න වූවා … ඥානාග්නීන් දවන ලද්දී ද, හෙතෙම ‘අනෙජ’ යී කියනු ලැබෙයි, එජාව ප්‍රහීණ වන බැවින් ‘අනෙජ’ යැ. හෙතෙම ලාභයෙහි දු කම්පා නො වෙයි. අලාභයෙහි දු කම්පා නො වෙයි, යශස්හි දු කම්පා නො වෙයි, අයශස්හි දු කම්පා නො වෙයි, ප්‍රශංසායෙහි දු කම්පා නො වෙයි, නින්‍දායෙහි දු කම්පා නො වෙයි, සුඛයෙහි දු කම්පා නො වෙයි, දුඃඛයෙහි දු කම්පා නො වෙයි; නො සැලෙයි, නො වෙවුලයි, අතිශයින් නො වෙවුලයි. අනෙජස්ස විජානතො - දතුවහුට වෙසෙසින් දතුවහුට ප්‍රතිවේධ කරන්නහුට; ‘සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි … යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නැසෙනසුලු යැ’ යි දන්නහුට හාත්පසින් දන්නහුට වෙසෙසින් දන්නහුට ප්‍රකර්‍ෂයෙන් දන්නහුට ප්‍රතිවේධ කරන්නහුට නුයි ‘අනෙජස්ස විජානතො’ යනු වේ.
නත්‍ථි කාචි නිසංඛිති - ‘නිසංඛිති’ යැයි පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද කියනු ලැබෙති. යම් තැනෙක පටන් පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකින් ‘නිසංඛිතිහු’ නැත, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙත්, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘නත්‍ථි කාචි නිසංඛිති’ යනු වේ.