15. 17.
යම් ක්‍ෂීණාස්‍රවයක් හට ‘මෙය මාගේ යැ’ යි හෝ, යළි අනුන්ගේ යැයි හෝ රූපාදි කිඤ්චනයෙක් නැත් ද, හෙතෙම තෘෂ්ණා - දෘෂ්ටි - මමත්‍වය නො ලබනුයේ මට මෙය නැතැයි ශෝක නො කෙරේ.
යස්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වා’පි කිඤ්චනං - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; යමක් හට ‘මෙය මාගේ හෝ යැ, මෙය පරාගේ හෝ යැයි ගන්නා ලද දැඩිව ගන්නා ලද පිවිසැගත් බැසගන්නා ලද ඇතුළු වැ ගන්නා ලද කිසි රූපගතයෙක් වේදනා - සංඥා - සංස්කාර - විඥානගතයෙක් නැත් ද, නො වේ ද, විද්‍යමාන නො වේ ද, නො ලැබේ ද, ප්‍රහීණ වූයේ සමුච්ඡින්න වූයේ සන්හිඳුණේ දුරලන ලද්දේ උපතට නුසුදුසු වූයේ නුවණ ගින්නෙන් දවන ලද්දේ නුයි මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ති පරෙසං වා’පි කිඤ්චනං’ යනු වේ. තෙල වදාරන ලද මැ ය බුදුන් විසින්: “මහණෙනි, මේ කය තොපගේ නො වෙයි, අනුන්ගේ නො ද වෙයි. මහණෙනි, මේ කර්‍මයෙන් සකස් කළ සිතින් රැස් කළ වේදනීය වූ පුරාණ කර්‍මය’ යි දතයුතු යැ. මහණෙනි, එහි ලා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ප්‍රතීත්‍යසමුත්පාදය මැ මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි: “මෙසේ මේ ධර්‍මය ඇති කල්හි මෙය වෙයි, මොහුගේ ඉපදීමෙන් මෙය උපදී, මේ ධර්‍මය නැති කල්හි මෙය නො වෙයි, මොහුගේ නිරෝධයෙන් මෙය නිරුද්ධ වෙයි; ඒ මෙසේ යැ: ‘අවිද්‍යාව හේතු කොට (එකුන් තිස් ත්‍රෛභූමක කුශලාකුශලචෙතනා සඞ්ඛ්‍යාත) සංස්කාරයෝ පහළ වෙති, සංස්කාරයන් හේතු කොට දෙතිස් ලෞකික විපාක විඥානය පහළ වෙයි … මෙසේ මේ හුදු දුක්රැස පහළ වෙයි. යළි අවිද්‍යාවගේ මැ අශෙෂවිරාගනිරොධයෙන් කුශලාකුශලසංස්කාරයන්ගේ නිරෝධය වෙයි, … මෙසේ මේ හුදු දුක්රැස නිරුද්ධ වේ යැ” යි. මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ.
මේ වදාරන ලද මැය, බුදුන් විසින්:
1. මෝඝරාජය, සියලු කල්හි ස්මෘතිමත් වූයෙහි ලෝකය ශුන්‍ය හෙයින් බලව, සත්කායදෘෂ්ටිය උදුරාපියා, මෙපරිද්දෙන් මරණය තරණය කරනුයේ වන්නෙහි. මෙසේ ස්කන්‍ධලෝකය දක්නහු මෘත්‍යුරාජ තෙමේ නො දක්නේ ය’ යි.
මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ. මේ වදාරන ලද මැ ය, භාග්‍යවතුන් විසින්: “මහණෙනි, යමක් තොප ගේ නො වේ නම්, එය දුරු කරවු; එය තොප විසින් ප්‍රහීණ කරන ලද්දේ බොහෝ කලක් හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, කුමක් තොප ගේ නො වේ ද යත්? මහණෙනි, රූපය තොපගේ නො වෙයි, එය දුරු කරවු, එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ ය. වේදනාව - සංඥාව - සංස්කාරයෝ - විඥානය තොපගේ නො වෙයි, එය හැරැපියවු; එය තොප විසින් හැරැපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ යැ මහණෙනි, ඒ කිමැ යි සිතවු ද? මේ දෙව්රම්හි යම් තණ - දර - අතු - කොළ වේ නම්, එය ජනයා ගෙනයන්නේ හෝ දවන්නේ හෝ රිසි සේ කරන්නේ හෝ නම්; කිමැ තොපට මෙබඳු සිතෙක් වන්නේ ද: ‘ජනයා අප ගෙන යයි හෝ රිසි සේ කෙරෙයි හෝ දැ’ යි? ‘තෙල නො වේ මැය, ස්වාමීනි, ඊට කරුණු කිමැ යත්? ස්වාමීනි, තෙල අපගේ ආත්ම හෝ ආත්මනීය හෝ නො මැ වේ යැ’ යි, එසෙයින් මහණෙනි, යමක් තොපගේ නො වේ නම්, එය හැරපියවු, එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ යැ. මහණෙනි, කුමක් තොප ගේ නො වේ ද යත්? මහණෙනි, රූපය තොපගේ නො වෙයි, එය හැරපියවු; එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ යැ. වේදනාව - සංඥාව - සංස්කාරයෝ - විඥානය තොපගේ නො වෙයි, එය හැරැපියවු; එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ ය” යි. මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ.
මේ කියන ලද මැය:
2. ”ග්‍රාමණිය, කේවල වූ ප්‍රත්‍යයප්‍රත්‍යයොත්පන්න ධර්‍මමාත්‍රයාගේ සමුත්පාදය ද, (ධ්‍රැවභාවාදියෙන්) අමිශ්‍ර වූ සංස්කාරසන්තතිය ද, තතු සේ දක්නහුට භයෙක් නො වේ.
3. යම් කලෙක ලෝකය තෘණ කාෂ්ට හා සම කොට විදර්‍ශනාප්‍රඥාවෙන් දකී නම්, එකල්හි අන් කිසිවක් නො පතයි, පිළිසඳ පිණිස අන් තැනෙක්හි ප්‍රාර්‍ත්‍ථනා නො කරයි.
මෙසේත් - ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ. ‘වජිරා’ භික්‍ෂුණිය වසවත් මරුට මෙසේ කිව:
4. මාරය, (තෝ) සත්ත්‍වයෙකැ’යි කුමක් සලකයි ද? තාගේ දෘෂ්ටිගතයෙක් නො වේ ද? මේ කේවල වූ සංස්කාරපුඤ්ජයෙකි, මෙහි සත්ත්‍වයෙක් නො ලැබේ.
5. යම්සේ අවයව සමූහය හේතු කොට ගෙන ‘රථ’ යන වාචක ශබ්දය වේ ද, එසෙයින් ස්කන්‍ධසමූහය ඇති කල්හි ‘සත්ත්‍වයෙක’ යන සම්මතය වේ.