15. 16.
යම් රහතෙක් හට නම්රූ දෙකෙහි මාගේ යයි ගන්නා ලද්දෙක් හැමලෙසින් නැද් ද, මමායිතයක් නැති බැවින් ශෝක නො කෙරේ ද, හෙතෙම ඒකාන්තයෙන් ලොවැ පිරිහීමට නො පැමිණේ.
සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං - ‘සබ්බසො’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශෙශෂ කොට ගන්නා වචනයෙකි තෙල ‘සබ්බසො’ යනු. නාම නම්: සතර අරූපීස්කන්‍ධයෝ යැ; රූප නම්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද (යන අටවිසි රූපය යැ); යස්ස යනු: රහත් ක්‍ෂීණාස්‍රව හට, මමායිතං යනු: මමත්‍ව දෙකෙකි: තෘෂ්ණාමමත්‍වය ද, දෘෂ්ටිමමත්‍වය දැ’ යි … මේ දෘෂ්ටිමමත්‍වය යි. සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං - සර්‍වප්‍රකාරයෙන් නාමරූපයෙහි මමත්‍වයෝ යමක් හට නැද්ද, නො වෙත් ද, අවිද්‍යමාන වෙත් ද, නො ලැබෙත් ද, ප්‍රහීණ වූවාහු නසන ලද්දාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දවන ලද්දාහු නුයි ‘සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං’ යනු වේ.
අසතා ච න සොචති - නැසුණු වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව නැසුණු කල්හි හෝ ශෝක නො කෙරෙයි; ‘මාගේ ඇස නැසිණැයි ශෝක නො කෙරෙයි, මාගේ කන - නැහැය - දිව - කය - රූපයෝ - ශබ්දයෝ - ගන්‍ධයෝ - රසයෝ -ස්ප්‍රෂ්ටව්‍යයෝ - මාගේ කුලය - ගණයා - ආවාසය - මාගේ ලාභය … මාගේ නෑසහලේනෑයෝ නෑසුණාහ’ යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසයි, නො වැලැපෙයි, ළෙහි පැහැරැ නො හඬයි, මුළාවට නො පැමිණේ නුයි මෙසේත් ‘අසතා ච නො සොචති’ යනු වේ. නොහොත් අමධුර වූ දුඃඛවෙදනාවෙන් පහස්නා ලදුයේ මඩනා ලදුයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැරැ නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේත් ‘අසතා ච න සොචති’ යනු වේ. නොහොත් චක්‍ෂුරෝගයෙන් පහස්නා ලදුයේ මඩනා ලදුයේ … මැසි මදුරු අව් සුළං දිග්දෑ පහසින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේ ත් ‘අසතා ච න සොචති’ යනු වේ. නොහොත් නැති කල්හි අවිද්‍යමාන කල්හි නො ලැබෙන කල්හි ‘මට ඒකාන්තයෙන් වූයේ නම්, එය ඒකාන්තයෙන් මට නැත, මට ඒකාන්තයෙන් වන්නේ යැ, එය මම් නො ලබමී’ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැරැ නො හඬයි, බලවත් මෝහයට නො පැමිණේ නුයි මෙසේ ත් ‘අසතා ච න සොචති’ යනු වේ.
ස චෙ ලෝකේ න ජීයති - යමක් හට ‘මෙය මාගේ හෝ යැ, මෙය පරාගේ හෝ යැ’ යි ගන්නා ලද දැහැගන්නා ලද පිවිසැගත් බැසගත් ඇතුළු වැ ගත් කිසි රූපගතයෙක් වේදනා - සංඥා - සංස්කාර - විඥානගතයෙක් ඇත් නම්, ඔහුට ජාතිය ඇත. මේ කියන ලද මැ යැ:
1. රිය හා අසුන් ද මිණිකොඬොල් ද පිරිහුණු කල්හි, අඹුදරුවන් ද එසේ ම පිරිහුණු කල්හි, සියලු භෝගයන් නො සෙවුණා කල්හි, (මෙසේ) ශොකකාලයෙහි කුමක් හෙයින් නො තැවෙහි ද?
2. භෝගයෝ හෝ මිනිසා පළමු වැ හරිති. මිනිසා හෝ ඒ භෝගයන් ඉතා පළමු වැ දුරු කෙරෙයි, එම්බා කාමකාමිය, (-කාමයන් කැමැතිවන තෙනැත්ත) කාමභොගීහු (යම් හෙයකින්) අශාශ්වත වූවාහු ද, එහෙයින් මම (මහාජනයා) ශෝක කරන කල්හි ශෝක නො කෙරෙමි.
3. (යම් සේ) සඳ උදා වේ ද හාත්පසින් පිරේ ද යළි ගෙවේ ද, හිර (අඳුරු නසා) උදයට පැමිණ යළි අස්තයට යේ ද, එපරිද්දෙන් සත්තුකය මා විසින් ලොකධර්‍මයෝ දන්නා ලද්දාහු ද, එහෙයින් (මහාජනයා) ශෝක කරන කල්හි මම ශෝක නො කෙරෙම් යයි.