15. 15.
අතීත සංස්කාරයන් ඇරැබැ උපදනා යම් ක්ලේශජාතයෙක් වේ නම් එය වියළව. අනාගත සංස්කාරයන් ඇරැබැ උපදනා රාගාදි කිඤ්චනය නහමක් තට වේවා. ඉදින් වර්‍තමානයෙහි රූපාදි සංස්කාරයන් තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නො ගන්නෙහි නම්, උපශාන්ත වැ හැසිරෙන්නෙහි ය.
යං පුබ්බේ තං විසොසෙහි - අතීත සංස්කාරයන් අරබයා යම් කෙලෙස් කෙනෙක් උපදනාහු නම්, ඒ කෙලෙසුන් වියළව, වෙසෙසින් වියළව, නීරස කරව වෙසෙසින් නීරස කරව, බොල් කරව, දුරු කරව, බැහැර කරව, විගතාන්ත කරව, අනුඅභාවයට පමුණුව’ යි මෙසේ ත් - ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ. නොහොත් අතීත වූ නො මූකළ විපාක ඇති යම් කර්‍මාභිසංස්කාර කෙනෙක් වෙත් නම්, ඒ කර්‍මාභිසංස්කාරයන් ශොෂණ විශොෂණ කර, ශුෂ්ක විශුෂ්ක කර, බොල් කර, දුරු කර, බැහැර කර විගතාන්ත කර, අනභාවයට පමුණුවාල’ යි; මෙසේත් - ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ.
පච්ඡා තෙ මාහු කිඤ්චනං - ‘පච්ඡා’ යී අනාගතය කියනු ලැබෙයි. අනාගත සංස්කාරයන් අරබයා රාගකිඤ්චනය ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - දුශ්චරිතකිඤ්චනය යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ කිඤ්චනයෝ තට නහමක් වෙත්වා, නහමක් පහළ කර, නූපදව, නො හටගන්වව, නො නිපදව, වෙසෙසින් නො නිපදව, දුරු කර, බැහැර කර, විගතාන්ත කර, අනභාවයට පමුණුවාල’ යි ‘පච්ඡා තෙ මාහු කිඤ්චනං’ යනු වේ.
මජ්ඣෙ චෙ නො ගහෙස්සසි - ‘ප්‍රත්‍යුත්පන්න වූ රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානයෝ ‘මජ්ඣ’ යී කියනු ලැබෙති. වර්‍තමාන සංස්කාරයන් තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් නො ගන්නෙහි, දැඩිව නො ගන්නෙහි, ග්‍රහණය නො කරන්නෙහි, නො දැහැගන්නෙහි, නො සතුටු වන්නෙහි, නො කියන්නෙහි, නො සිතන්නෙහි, අභිනන්‍දනය අභිවදනය අධ්‍යවසානය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කරන්නෙහි, බැහැර කරන්නෙහි, විගතාන්ත කරන්නෙහි, අනභාවයට පමුණුවන්නෙහි යයි ‘මජ්ඣෙ චෙ නො ගහෙස්සසි’ යනු වේ.
උපසන්තො චරිස්සසි - රාගය නිවුණු බැවින් සන්හිඳුණු බැවින් වෙසෙසින් සන්හිඳුණු බැවින්, ද්වේෂය ශාන්ත බැවින් ශමිත බැවින් උපශමිත බැවින් … සියලු අකුශලාභිසංස්කාරයන් නිවුණු බැවින් සන්හිඳුණු බැවින් උපශමිත බැවින් ව්‍යුපශමිත බැවින් දවන ලද බැවින් නිවන ලද බැවින් විගත බැවින් දුරලන ලද බැවින් ශාන්ත වැ උපශාන්ත වැ ව්‍යුපශාන්ත වැ නිවුණේ සැහැල්ලු වැ හැසිරෙන්නෙහි වෙසෙන්නෙහි ඉරියවු පවත්වන්නෙහි වැටෙන්නෙහි රැකෙන්නෙහි යැපෙන්නෙහි යාපනය වන්නෙහි නුයි ‘උපසන්තො චරිස්සසි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යං පුබ්බේ තං විසොසෙහි -පෙ- උපසන්තො චරිස්සසි” යී.
15. 16.
යම් රහතෙක් හට නම්රූ දෙකෙහි මාගේ යයි ගන්නා ලද්දෙක් හැමලෙසින් නැද් ද, මමායිතයක් නැති බැවින් ශෝක නො කෙරේ ද, හෙතෙම ඒකාන්තයෙන් ලොවැ පිරිහීමට නො පැමිණේ.
සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං - ‘සබ්බසො’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශෙශෂ කොට ගන්නා වචනයෙකි තෙල ‘සබ්බසො’ යනු. නාම නම්: සතර අරූපීස්කන්‍ධයෝ යැ; රූප නම්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද (යන අටවිසි රූපය යැ); යස්ස යනු: රහත් ක්‍ෂීණාස්‍රව හට, මමායිතං යනු: මමත්‍ව දෙකෙකි: තෘෂ්ණාමමත්‍වය ද, දෘෂ්ටිමමත්‍වය දැ’ යි … මේ දෘෂ්ටිමමත්‍වය යි. සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං - සර්‍වප්‍රකාරයෙන් නාමරූපයෙහි මමත්‍වයෝ යමක් හට නැද්ද, නො වෙත් ද, අවිද්‍යමාන වෙත් ද, නො ලැබෙත් ද, ප්‍රහීණ වූවාහු නසන ලද්දාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දවන ලද්දාහු නුයි ‘සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං’ යනු වේ.