15. 14.
මේ සත්ත්‍වලෝකයෙහි යමෙක් වස්තුකාමක්ලෙශකාමයන් ද ඉක්මැවීමට දුෂ්කර වූ රාගාදි සඞ්ගය ද ඉක්මැවී නම්, සිඳින ලද තෘෂ්ණා ඇති රාගාදි බන්‍ධන රහිත වූ හෙතෙම ශෝක නො කෙරෙයි, නො සිතයි.
යො ච කාමෙ අච්චතරි සඞ්ගං ලෝකේ දුරච්චයං - ‘යො’ යනු යම්බඳු යම් යෝග ඇති (නවකම් ආදියෙන්) යථාවිහිත වූ යම් ප්‍රකාර ඇති යම් තනතුරකට පැමිණි යම් ධර්‍මයකින් යුක්ත වූ ක්‍ෂුත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ; කාම නම්: විස්තර හෙයින් වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ’ යි කාමයෝ දෙදෙනෙකි: … මොහු ක්ලේශකාමයෝ යයි කියනු ලැබෙත්. සඞ්ග නම්: සඞ්ගයෝ සතෙකි: රාගසඞ්ග යැ ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - දුශ්චරිතසඞ්ග යැයි. ලෝකේ යනු: අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි; දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි; සඞ්ගං ලෝකේ දුරච්චයං - යමෙක් ලොවැ පසු කළ නො හැකි, ඉක්මැවියැ නො හැකි, තරණය කළ නො හැකි වෙසෙසින් තරණය කළ නො හැකි, දුකසේ ඉක්මැවියැ යුතු, දුකසේ නැවැත්වියැ යුතු කාමයන් ද සඞ්ගයන් ද තරණය කෙළේ උත්තරණය කෙළේ ඉක්මැ වූයේ වෙසෙසින් නැවැත්වී නුයි ‘යො ච කාමෙ අච්චතරි සඞ්ගං ලෝකේ දුරච්චයං’ යනු වේ.
න සො සොචති නාජ්ඣෙති - විපරිණත (-පෙරැළුණු) වස්තුවට ශෝක නො කෙරෙයි, වස්තුව විපරිණත කල්හි හෝ ශෝක නො කෙරෙයි, ‘මාගේ ඇස පෙරැළිණැ’ යි ශෝක නො කෙරෙයි, මාගේ කන - මාගේ නැහැය - මාගේ දිව - මාගේ කය - මාගේ රූපයෝ - මාගේ ශබ්දයෝ - මාගේ ගන්‍ධයෝ - මාගේ රසයෝ - මාගේ ස්ප්‍රෂ්ටව්‍යයෝ - මාගේ කුලය - මාගේ ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුවය - සිවුර - පිණ්ඩපාතය - සෙනස්න - ගිලන්පසබෙහෙසත්පිරිකර - මාගේ මව - පියා - බෑයා - බූනැණිය - පුත්‍රයා - ධීතෘව - මිත්‍රයෝ - සගයෝ - නෑයෝ මාගේ සහලේනෑයෝ නැසුණාහ’ යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි ‘න සොචති’ යනු වේ. නාජ්ඣෙති යනු: නො සිතයි, ‘සමීපව නො සිතයි, අනෙකප්‍රකාරයෙන් නො සිතයි, අතිශයින් නො සිතයි; නොහොත් නූපදී, නො දිරයි, නො මැරෙයි, ච්‍යුත නො වෙයි, ප්‍රතිසන්‍ධියට නො පැමිණේ යයි නො සිතා නුයි ‘න සො සොචති නාජ්ඣෙති’ යනු වේ.
ජින්නසොතො අබන්‍ධනො - ‘සෝතා’ යී තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් බලවත් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල ‘සෝත’ නම් වූ තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී ද; හෙතෙම ‘ජින්නසොත’ යී කියනු ලැබෙයි. අබන්‍ධනො යනු: රාගබන්‍ධන යැ ද්වෙෂබන්‍ධන යැ මොහබන්‍ධන යැ මානබන්‍ධන යැ දෘෂ්ටිබන්‍ධන යැ ක්ලේශබන්‍ධන යැ දුශ්චරිතබන්‍ධන යැ යන තෙල බන්‍ධනයෝ යමක්හු විසින් ප්‍රහීණ කරන ලද්දාහු ද සමුච්ඡින්න වූවාහු ද … ඥතාග්නීන් දවන ලද්දාහු ද: හෙතෙම ‘අබන්‍ධන’ යයි කියනු ලැබේ නුයි ‘ජින්නසොතො අබන්‍ධනො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යො ච කාමෙ අච්චතරි -පෙ- ජින්නසොතො අබන්‍ධනො” යී.
15. 15.
අතීත සංස්කාරයන් ඇරැබැ උපදනා යම් ක්ලේශජාතයෙක් වේ නම් එය වියළව. අනාගත සංස්කාරයන් ඇරැබැ උපදනා රාගාදි කිඤ්චනය නහමක් තට වේවා. ඉදින් වර්‍තමානයෙහි රූපාදි සංස්කාරයන් තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නො ගන්නෙහි නම්, උපශාන්ත වැ හැසිරෙන්නෙහි ය.
යං පුබ්බේ තං විසොසෙහි - අතීත සංස්කාරයන් අරබයා යම් කෙලෙස් කෙනෙක් උපදනාහු නම්, ඒ කෙලෙසුන් වියළව, වෙසෙසින් වියළව, නීරස කරව වෙසෙසින් නීරස කරව, බොල් කරව, දුරු කරව, බැහැර කරව, විගතාන්ත කරව, අනුඅභාවයට පමුණුව’ යි මෙසේ ත් - ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ. නොහොත් අතීත වූ නො මූකළ විපාක ඇති යම් කර්‍මාභිසංස්කාර කෙනෙක් වෙත් නම්, ඒ කර්‍මාභිසංස්කාරයන් ශොෂණ විශොෂණ කර, ශුෂ්ක විශුෂ්ක කර, බොල් කර, දුරු කර, බැහැර කර විගතාන්ත කර, අනභාවයට පමුණුවාල’ යි; මෙසේත් - ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ.