15. 10.
අතීත වූ රූපාදිඅරමුණට (තෘෂ්ණාදි විසින්) නො සතුටු වන්නේ යැ. වර්තමාන රූපාදියෙහි රුචිය නො කරන්නේ යැ. (රූපාදිය) නැසෙන කල්හි ශෝක නො කරන්නේ යැ, තෘෂ්ණාව ඇසුරු කළේ නො වන්නේ යි.
පුරාණං නාභිනන්දෙය්ය - ‘පුරාණ’ යී ඉක්මැගිය රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානය කියනු ලැබෙයි. අතීත වූ සංස්කාරයන් තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් නො සතුටු වන්නේ යැ, සතුටුබස් නො කියන්නේ යැ, නො බැසගන්නේ යැ; අභිනන්දනය අභිවදනය බැසගැනීම ග්රාහය දැහැගැනීම පිවිසසිටීම හරන්නේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ නුයි ‘පුරාණං නාභිනන්දෙය්ය’ යනු වේ.
නවෙ ඛන්තිං න කුබ්බයෙ - ‘නව’ යී වර්තමාන රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානය කියනු ලැබෙයි. වර්තමානසංස්කාරයන් තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් රුචි නො කරන්නේ යැ, ඡන්දය නො කරන්නේ යැ, ප්රේමය නො කරන්නේ යැ, රාගය නො කරන්නේ යැ, නො දනවන්නේ යැ, නූපදවන්නේ යැ, නො නිපදවන්නේ යැ, වෙසෙසින් නූපදවන්නේ නුයි ‘නවෙ ඛන්තිං න කුබ්බයෙ’ යනු වේ.
හීයමානෙ න සොචෙය්ය - නැසෙන කල්හි හෙන කල්හි පිරිහෙන කල්හි නො වන කල්හි පහව යන කල්හි අතුරුදහන් වන කල්හි ශෝක නො කරන්නේ යැ, නො වෙහෙසෙන්නේ යැ, නො දැහැගන්නේ යැ, නො හඬන්නේ යැ. ළෙහි පැහැර නො හඬන්නේ යැ, සම්මෝහයට නො පැමිණෙන්නේ යැ; ඇස නැසෙන කල්හි හෙන කල්හි පිරිහෙන කල්හි නො වන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි කන - නැහැය - දිව - කය - රූපය - ශබ්දය - ගන්ධය - රසය - ස්ප්රෂ්ටව්යය - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්රශංසාව - සුවය - චීවරය - පිණ්ඩපාතය - සෙනස්න - ගිලන්පසබෙහෙසත් පිරිකර නැසෙන කල්හි හෙන කල්හි පිරිහෙන කල්හි නො වන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි ශෝක නො කරන්නේ යැ, නො වෙහෙසෙන්නේ යැ, නො දැහැගන්නේ යැ, නො හඬන්නේ යැ, ළෙහි පැහැර නො හඬන්නේ යැ, සම්මෝහයට නො පැමිණෙන්නේ නුයි ‘හීයමානෙ න සොචෙය්ය’ යනු වේ.
ආකාසං න සිතො සියා - තෘෂ්ණාව ‘ආකාස’ යී කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් … අභිධ්යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. කවර කරුණෙකින් තෘෂ්ණාව ‘ආකාස’ යී කියනු ලැබෙයි යත්: යම් තෘෂ්ණාවකින් රූපය ආකර්ෂණය කෙරේ ද, සමාකර්ෂණය කෙරේ ද, ගනී ද, දැහැගනී ද, අභිනිවේශය කෙරේ ද, වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්රතිසන්ධිය - භවය - සංසාරය - වෘත්තය ආකර්ෂණ - සමාකර්ෂණ - ග්රහණ පරාමර්ෂණ - අභිනිවේශ කෙරේ ද; එකරුණෙන් තෘෂ්ණාව ‘ආකාස’ යී කියනු ලැබේ.
ආකාසං න සිතො සියා - තෘෂ්ණාව ඇසුරු කළේ නො වන්නේ යැ, තෘෂ්ණාව දුරු කරන්නේ යැ, බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ, තෘෂ්ණාවෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ බැහැර වූයේ විමුක්ත වූයේ විමර්ය්යාදීකෘත සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘ආකාසං න සිතො සියා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පුරාණං නාභිනන්දෙය්ය -පෙ- ආකාසං න සිතො සියා” යී.
15. 11.
(මම් වූ කලි තෘෂ්ණාව රූපාදියෙහි ගිජුවන බැවින්) ගේධ යැයි කියමි. මහවතුරෙකැයි ද, (දිවෙන හෙයින්) ආජවයෙකැයි ද ජල්පනයෙකැයි ද ආලම්බනයෙකැයි ද ප්රකම්පනයෙකැයි ද කියමි. තෙල කාමපඞ්කය තෙමේ ඉක්මැවිය නො හැක්කේ යි.