14. 3.
තමා කෙරෙහි වූ ද නොහොත් (උපාධ්‍යායාදි) බැහැර වූ ද යම් කිසි (කුලීනත්‍වාදි) ගුණයක් දන්නේ නම් ඒ හේතුකොටගෙන මානය නො කරන්නේය. ඒ උන්නතිය බුද්ධාදීන් විසින් නිබ්බුති යයි නො කියන ලද්දී ද එහෙයිනි.
යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ්ඣත්තං - කුශලධර්‍මයෙහි හෝ අව්‍යාකෘතධර්‍මයෙහි හෝ යම් කිසි තමාගේ ගුණයක් දන්නේ නම් - තමාගේ ගුණයෝ කවරහ යත්? උසස් කුලයෙන් පැවිදි වූයෙම් හෝ වෙමි, ගැහැවි මහසල් කුලයෙන් පැවිදි වූයෙම් හෝ වෙමි, මහත් භොග ඇති කුලයෙන් පැවිදි වූයෙම් හෝ වෙමි, ගැහැවියන් සහිත පැවිද්දන් අතුරෙහි ප්‍රකටයෙම් යශස් ඇත්තෙම් හෝ වෙමි, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර ලබන්නෙම් හෝ වෙමි, සූත්‍ර හදාරනුයෙම් හෝ වෙමි, විනයධරයෙම් හෝ වෙමි, ධර්‍මකථිකයෙම් හෝ වෙමි, ආරණ්‍යකයෙම් හෝ වෙමි, පිණ්ඩපාතිකයෙම් හෝ වෙමි, පාංශුකූලිකයෙම් හෝ වෙමි, ත්‍රෛචීවරිකයෙම් හෝ වෙමි, සපදානවාරිකයෙම් හෝ වෙමි, ඛලුපච්ඡාභත්තිකයෙම් හෝ වෙමි, නෙසජ්ජිකයෙම් හෝ වෙමි, යථාසන්‍ථතිකාඞ්ග ඇතියෙම් හෝ වෙමි, ප්‍රථමධ්‍යානලාභී හෝ වෙමි, ද්වීතියධ්‍යානලාභී හෝ වෙමි, තෘතීයධ්‍යානලාභී හෝ වෙමි, චතුර්‍ත්‍ථධ්‍යානලාභී හෝ වෙමි, ආකාසානඤ්චායතනසමාපත්තිලාභී හෝ වෙමි, විඤ්ඤාණඤ්චායතනසමාපත්තිලාභී හෝ වෙමි, ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති - නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී හෝ වෙමි. මොහු තමාගේ ගුණයෝ යැයි කියනු ලැබෙති. යම් කිසි තමාගේ ගුණයක් දන්නේ නම් හාත්පසින් දන්නේ නම් වෙසෙසින් දන්නේ නම් මැනැවින් දන්නේ නම් අවබෝධ කරන්නේ නම් යී ‘යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ්ඣත්තං’ යනු වේ.
අථවාපි බහිද්ධා - උපාධ්‍යායයන්ගේ හෝ ආචාර්‍ය්‍යයන්ගේ හෝ ඒ ගුණයෝ වන්නාහු නුයි ‘අථවාපි බහිද්ධා’ යනු වේ.
න තෙන ථාමං කුබ්බෙථ - තමාගේ ගුණයෙන් හෝ අනුන්ගේ ගුණයෙන් හෝ ථාමය නො කරන්නේය, තදබව නො කරන්නේය, මානය නො කරන්නේය, උන්නතිය නො කරන්නේය, උඩඟුබව නො කරන්නේය, එයින් මානය නූපදවන්නේය, එයින් තද වූයේ දැඩි වූයේ නැඟූ හිස ඇත්තේ නො වන්නේ යයි ‘න තෙන ථාමං කුබ්බෙථ’ යනු වේ.
න හි සා නිබ්බුති සතං වුත්තා - සාධුන් ශාන්තයන් සත්පුරුෂයන් බුදුවරුන් බුදුසව්වන් පසේබුදුවරුන් විසින් ඒ උන්නතිය නිර්‍වෘතියයි නො කියන ලද්දීය, නො පවසන ලද්දීය, නො දෙසන ලද්දීය, නො පනවන ලද්දීය, නො තබන ලද්දීය, අවිවාතය, අවිභක්ත ය, ප්‍රකට නො කරන ලද, ප්‍රකාශ නො කරන ලද්දී නුයි ‘න හි සා නිබ්බුති සතං වුත්තා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා -පෙ- න හි සා නිබ්බුති සතං වුත්තා” යී.
14. 4.
ඒ මානයෙන් මම් උතුමැයි ද හීනයෙම් ද නොහොත් සදෘශයෙම් ද නො හඟනේ යැ. (කුලීනත්‍වාදි) විවිධාකාරයෙන් යුක්ත වූයේ තමා විකල්පනය කෙරෙමින් නො සිටිනේ යි.
සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය - ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ ‘මම් ශ්‍රෙෂ්ඨයෙමී’ අතිමානය නූපදවන්නේ නුයි ‘සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය’ යනු වේ.
නීචෙය්‍යො අථවාපි සරික්ඛො - ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ හෝ ‘මම් හීනයෙමි’ අවමානය නූපදවන්නේය. ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත් බැවින් හෝ වර්‍ණසෞන්දර්‍ය්‍යෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ ‘මම සදෘශයෙමී’ මානය නූපදවන්නේ නුයි ‘නීචෙය්‍යො අථවා පි සරික්ඛො යනු’ වේ.
ඵුට්ඨො අනෙකරූපෙහි - අනේකවිධ වූ ආකාරයන්ගෙන් පහස්නා ලදුයේ යුක්ත වූයේ රැස් වූයේ සමන්‍විත වූයේ නුයි ‘ඵුට්ඨො අනෙකරූපෙහි’ යනු වේ.
නාතුමානං විකප්පයං තිට්ඨෙ - ‘ආතුමා’ යී තෙමේ කියනු ලැබෙයි. තමා කල්පන කෙරෙමින් විකල්පන කෙරෙමින් විකල්පයට පැමිණෙමින් නො සිටිනේ නුයි ‘නාතුමානං විකප්පයං තිට්ඨෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය -පෙ- නාතුමානං විකප්පයං තිට්ඨෙ” යී.
14. 5.
මහණ තෙමේ අධ්‍යාත්මයෙහි ම (රාගාදිය) සන්හිඳුවන්නේය. අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් ශාන්තිය නො සොයන්නේය. අධ්‍යාත්මයෙහි (රාගාදිය) සන්හිඳුණු (ක්‍ෂීණාස්‍රවහට) ආත්මදෘෂ්ටිය නැත. උච්ඡේදදෘෂ්ටිය හෝ කොයින් ද?
අජ්ඣත්තමෙව උපසමෙ - අධ්‍යාත්මයෙහි රාගය සන්හිඳුවන්නේ ය, ද්වේෂය සන්හිඳුවන්නේ ය, මෝහය සන්හිඳුවන්නේ ය, ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පලාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - සාඨ්‍යය - ස්තම්භය - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයන් - සියලු දුශ්චරිතයන් - සියලු දරථයන් - සියලු පරිදාහයන් - සියලු සන්තාපයන් -සියලු අකුශලාභිසංස්කාරයන් ශමනය කරන්නේය, ව්‍යුපශමනය කරන්නේය, නිවන්නේ ය, දුරලන්නේ නුයි ‘අජ්ඣත්තමෙව උපසමෙ’ යනු වේ.