14. 4.
ඒ මානයෙන් මම් උතුමැයි ද හීනයෙම් ද නොහොත් සදෘශයෙම් ද නො හඟනේ යැ. (කුලීනත්‍වාදි) විවිධාකාරයෙන් යුක්ත වූයේ තමා විකල්පනය කෙරෙමින් නො සිටිනේ යි.
සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය - ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ ‘මම් ශ්‍රෙෂ්ඨයෙමී’ අතිමානය නූපදවන්නේ නුයි ‘සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය’ යනු වේ.
නීචෙය්‍යො අථවාපි සරික්ඛො - ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ හෝ ‘මම් හීනයෙමි’ අවමානය නූපදවන්නේය. ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත් බැවින් හෝ වර්‍ණසෞන්දර්‍ය්‍යෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ ‘මම සදෘශයෙමී’ මානය නූපදවන්නේ නුයි ‘නීචෙය්‍යො අථවා පි සරික්ඛො යනු’ වේ.
ඵුට්ඨො අනෙකරූපෙහි - අනේකවිධ වූ ආකාරයන්ගෙන් පහස්නා ලදුයේ යුක්ත වූයේ රැස් වූයේ සමන්‍විත වූයේ නුයි ‘ඵුට්ඨො අනෙකරූපෙහි’ යනු වේ.
නාතුමානං විකප්පයං තිට්ඨෙ - ‘ආතුමා’ යී තෙමේ කියනු ලැබෙයි. තමා කල්පන කෙරෙමින් විකල්පන කෙරෙමින් විකල්පයට පැමිණෙමින් නො සිටිනේ නුයි ‘නාතුමානං විකප්පයං තිට්ඨෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය -පෙ- නාතුමානං විකප්පයං තිට්ඨෙ” යී.
14. 5.
මහණ තෙමේ අධ්‍යාත්මයෙහි ම (රාගාදිය) සන්හිඳුවන්නේය. අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් ශාන්තිය නො සොයන්නේය. අධ්‍යාත්මයෙහි (රාගාදිය) සන්හිඳුණු (ක්‍ෂීණාස්‍රවහට) ආත්මදෘෂ්ටිය නැත. උච්ඡේදදෘෂ්ටිය හෝ කොයින් ද?
අජ්ඣත්තමෙව උපසමෙ - අධ්‍යාත්මයෙහි රාගය සන්හිඳුවන්නේ ය, ද්වේෂය සන්හිඳුවන්නේ ය, මෝහය සන්හිඳුවන්නේ ය, ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පලාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - සාඨ්‍යය - ස්තම්භය - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයන් - සියලු දුශ්චරිතයන් - සියලු දරථයන් - සියලු පරිදාහයන් - සියලු සන්තාපයන් -සියලු අකුශලාභිසංස්කාරයන් ශමනය කරන්නේය, ව්‍යුපශමනය කරන්නේය, නිවන්නේ ය, දුරලන්නේ නුයි ‘අජ්ඣත්තමෙව උපසමෙ’ යනු වේ.
නාඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්‍ය - (සතිපට්ඨානාදියෙන්) අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් මිත්‍ථ්‍යාප්‍රතිපදායෙන් අනෛර්‍ය්‍යාණිකපථයෙන්, සතිපට්ඨානයන්ගෙන් වෙන් ව සම්‍යක්ප්‍රධානයන්ගෙන් වෙන් ව ඍද්ධිපාදයන්ගෙන් වෙන් ව ඉන්‍ද්‍රියයන්ගෙන් වෙන් ව බලයන්ගෙන් වෙන් ව බෝධ්‍යඞ්ගයන් ගෙන් වෙන් ව ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් වෙන් ව ශාන්තිය උපශාන්තිය ව්‍යුපශාන්තිය නිවන පටිප්පස්සද්ධිය නො සොයන්නේ ය, ගවේෂණය නො කරන්නේය, පර්‍ය්‍යෙෂණය නො කරන්නේ යි ‘නාඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්‍ය’ යනු වේ.
අජ්ඣත්තං උපසන්තස්ස - අධ්‍යාත්මයෙහි රාගය සන්හුන්නහුට ද්වේෂය සන්හුන්නහුට මෝහය සන්හුන්නහුට … සියලු අකුශලාභිසංස්කාරයන් සන්හුන්නහුට උපශාන්ත වූවහුට ව්‍යුපශාන්ත වූවහුට නිවුණහුට දුරලුවහුට නුයි ‘අජ්ඣත්තං උපසන්තස්ස’ යනු වේ.
නත්‍ථි අත්තා කුතො නිරත්තා වා - ‘නත්‍ථි’ යනු ප්‍රතික්‍ෂේප යැ; අත්තා යනු: ආත්මදෘෂ්ටිය නැත. නිරත්තා යනු : උච්ඡේදදෘෂ්ටිය නැත. ‘ආත්ම යැ’ යි ගන්නා ලද්දක් නැත, ‘නිරාත්ම යැ’ යි හළ යුත්තක් නැත. යමකුට ගන්නා ලද්දක් ඇත් නම් ඔහුට හළයුත්තකු දු ඇත, යමකුට හළයුත්තක් නැත් නම් ඔහුට ගතයුත්තකු දු නැත. රහත් තෙම ගැනීම ද හැරීම ද ඉක්මවූයේ ය, වෘද්ධිය ද හානිය ද ඉක්මවා සිටියේ ය. හෙතෙම වැස නිම වූ දශ ආර්‍ය්‍යවාස ඇත්තේ ය. වසඟ කළ චරණධර්‍ම ඇත්තේ ය … ඔහුට ජාතිමරණසංසාරය පුනර්‍භවය නැත් නුයි ‘නත්‍ථි අත්තා කුතො නිරත්තා වා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අජ්ඣත්තමෙව උපසමෙ -පෙ- කුතො නිරත්තා වා” යී.
14. 6.
මහාසාගරයාගේ (යොදුන් සාරදහසක් පමණ වූ) මධ්‍යභාගයෙහි යම් සේ රළ නො හටගනී ද, (නිශ්චල ව) සිටියේ වේ ද, එසෙයින් තෘෂ්ණා රහිත වූ ක්‍ෂීණාස්‍රව තෙම (අටලෝදහමින් නො සැලී) සිටියේ වන්නේ ය. එබඳු මහණ කිසිවෙක්හි (රාගාදි) උස්සදයක් නො කරන්නේ යි.
මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති - සමුද්‍රය යට පත්ලෙන් සූවාසුදහසක් යොදුන් ගැඹුරු යැ. යටින් සතලිස්දහසක් යොදුන් ජලය මස්කැස්බන්ගෙන් කම්පා වෙයි. මත්තෙහි සතලිස්දහසක් යොදුන් දිය වාතයෙන් කම්පා වෙයි. මැද සාරදහසක් යොදුන් දිය නො සැලෙයි, ඔබිනොබ නො සැලෙයි, නිශ්චල වෙයි, නො වෙවුලයි, නො පෙරැළෙයි, නො කැරැකෙයි, කම්පා නො වූයේ නො ගැටුණේ නො සැලුණේ නො කැලැඹුණේ නො කැරැකුණේ සන්හිඳුණේ වෙයි. එහි රළ නූපදී, සමුද්‍රය සිටියේ වේ නුයි මෙසේත් ‘මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති’ යනු වේ. නොහොත් (යුගන්‍ධරාදි) සත් පර්‍වයතයන් අතරැ සප්ත සීදන්තර මහාසමුද්‍රයෝ වෙති, එහි දිය කම්පන විකම්පන නො වෙයි, නො සැලෙයි, නො වෙවුලයි, නො පෙරැළෙයි, නො කැරැකෙයි. කම්පා නො වූයේ නො ගැටුණේ නො සැලුණේ නො කැලැඹුණේ නො බැමුණේ සන්හිඳුණේ වෙයි, එහි රළ නූපදී, සමුද්‍රය සිටියේ වේ නුයි මෙසේත් ‘මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති’ යනු වේ.