14.
තුවට්‌ටකසූත්‍රනිර්දේශය
ඉක්බිති ‘තුවටක’ සූත්‍රනිර්දේශය කියනු ලැබේ:
14. 1.
ආදිත්‍යබන්‍ධු වූ මහර්ෂි වූ මුබ පුළුවුස්මි: යෝගාවචර මහණ තෙම (කායාදි) ත්‍රිවිධ විවේකය ද (නිවනට කරුණු වූ) බොධිපාක්‍ෂිකධර්‍මය ද කවර කරුණෙකින් දැක (කායාදි) ලෝකයෙහි (රූපාදි) කිසි ධර්‍මයක් උපාදානය නො කෙරෙමින් (රාගාදි කෙලෙසුන්) සන්හිඳුවන්නේ ද?
පුච්ඡාමි තං ආදිච්චබන්‍ධු - ‘පුච්ඡා’ යනු පෘච්ඡා තුනෙකි; අදිට්ඨජොතනා පුච්ඡා යැ, දිට්ඨසංසන්දනා පුච්ඡා යැ, විමතිච්ඡෙදනා පුච්ඡා යි.
අදිට්ඨජොතනා පුච්ඡා කවර යත්: ධර්‍මයන්ගේ තථලක්‍ෂණය පියවින් නො දන්නා ලද නො දක්නා ලද තුලනය නො කරන ලද තීරණය නො කරන ලද ප්‍රකට නො කරන ලද නුවණින් නො වඩන ලද වේ ද, ඒ ධර්‍මයාගේ ලක්‍ෂණය දැනීමට තුලනයට තීරණයට ප්‍රකට කිරීමට ප්‍රශ්න විචාරයි. මෝ අදිට්ඨජොතනා පුච්ඡා යැ.
දිට්ඨසංසන්දනා පුච්ඡා කවර යත්: පියවින් තථලක්‍ෂණය දන්නා ලද දක්නා ලද තුලනය කරන ලද තීරණය කරන ලද ප්‍රකට කරන ලද විභාවන කරන ලද වේ ද, අන්‍ය පණ්ඩිතයන් හා සසඳාලීම පිණිස ප්‍රශ්න විචාරයි. මෝ දිට්ඨසංසන්දනා පුච්ඡායැ.
විමතිච්ඡෙදනාපුච්ඡා කවර යත්: ‘මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හෝ’ යි පියවින් සැකයට පැමිණිය් විමතියට පැමිණියේ හටගත් සැක ඇත්තේ වේ ද, හෙතෙම සැක සිඳීම සඳහා ප්‍රශ්න විචාරයි. මෝ ‘විමතිච්ඡෙදනා පුච්ඡා’ යැ; මේ තුන් ප්‍රශ්නයෝ යි.
අන්‍යවූ ද ප්‍රශ්න තුනෙක් වෙයි: මනුෂ්‍යපෘච්ඡා යැ, අමනුෂ්‍යපෘච්ඡා යැ නිර්මිතපෘච්ඡා යැයි.
මනුෂ්‍යපුච්ඡා කවර යත්: මනුෂ්‍යයෝ භගවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති - භික්‍ෂූහු විචාරති, භික්‍ෂුණීහු විචාරති, උපාසකයෝ විචාරති, උපාසිකාවෝ විචාරති, රජවරු විචාරති, ක්‍ෂත්‍රියයෝ විචාරති, බමුණෝ විචාරති, වෛශ්‍යයෝ විචාරති, ශුද්‍රයෝ විචාරති, ගැහැවියෝ විචාරති, පැවිද්දෝ විචාරත්; මෝ මනුෂ්‍යපෘච්ඡා යැ.
අමනුෂ්‍යපුච්ඡා කවර යත්: අමනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති - නාගයෝ විචාරති, සුපර්‍ණයෝ විචාරති, යක්‍ෂයෝ විචාරති, අසුරයෝ විචාරති, ගන්‍ධර්‍වයෝ විචාරති, වරම්රජහු විචාරති, ඉන්ද්‍රයෝ විචාරති, බ්‍රහ්මයෝ විචාරති, දේවතාවෝ විචාරත්; මෝ අමනුෂ්‍යපෘච්ඡා යැ.
නිර්මිතපෘච්ඡා කවර යත්: බුදුහු මනෝමය වූ සියලු අඟපසඟ ඇති අවිකල ඉඳුරන් ඇති යම් බුදුරුවක් මවත් ද, ඒ නිර්මිත බුදුහු භාග්‍යවත් වූ ඒ බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, බුදුහු විසඳන සේක. මෝ නිර්මිතපෘච්ඡා යැ. මොහු තුන් පෘච්ඡා යි.
අනෙකුදු ප්‍රශ්න තුනෙක් වෙයි: ආත්මාර්‍තථපෘච්ඡා යැ, පරාර්‍තථපෘච්ඡා යැ, උභයාර්‍තථපෘච්ඡා යැයි. අනෙකුදු ප්‍රශ්න තුනෙකි: දෘෂ්ටධාර්මිකාර්‍තථපෘච්ඡා යැ, සාමපරායිකාර්‍තථපෘච්ඡා යැ, පරමාර්‍තථපෘච්ඡා යැයි. අනෙකුදු ප්‍රශ්න තුනෙකි: අනවද්‍යාර්‍තථපෘච්ඡා යැ, නික්ලෙශර්‍තථපෘච්ඡා යැ, ව්‍යවදානාර්‍තථපෘච්ඡා යැයි. අනෙකුදු ප්‍රශ්න තුනෙක් වෙයි: අතීතපෘච්ඡා යැ, අනාගතපෘච්ඡා යැ, වර්‍තමානපෘච්ඡා යැයි. අනෙකුදු තුන් ප්‍රශ්නයෙකි: අධ්‍යාත්මපෘච්ඡා යැ, බාහ්‍යපෘච්ඡා යැ, අධ්‍යාත්මබාහ්‍යපෘච්ඡා යැයි. අන්‍ය වූ ද ප්‍රශ්න තුනෙකි: කුශලපෘච්ඡා යැ, අකුශලපෘච්ඡා යැ, අව්‍යාකෘතපෘච්ඡා යැයි. අන්‍ය වූ ද ප්‍රශ්න තුනෙකි: ස්කන්‍ධපෘච්ඡා යැ, ධාතුපෘච්ඡා යැ, ආයතනපෘච්ඡා යැයි. අන්‍යවූ ද තුන් ප්‍රශ්නයෙකි: සතිපට්ඨානපෘච්ඡා යැ, සම්‍යක්ප්‍රධානපෘච්ඡා යැ, ඍද්ධිපාධපෘච්ඡා යැයි. අන්‍ය වූ ද තුන් ප්‍රශ්නයෙකි: ඉන්ද්‍රියපෘච්ඡා යැ, බලපෘච්ඡා යැ, බොධ්‍යඞ්ගපෘච්ඡා යැයි. අන්‍ය වූ ද තුන් ප්‍රශ්නයෙකි: මාර්‍ගපෘච්ඡා යැ, ඵලපෘච්ඡා යැ, නිර්‍වාණපෘච්ඡා යැයි.
පුච්ඡාමි තං - මුබ පුළුවුස්මි, මුබ අයැදිමි, මුබ ආරාධනය කෙරෙමි, මුබ පහදවමි, මට වදාළ මැනවැයි. ‘පුච්ඡාමි තං’ යනු වේ. ආදිච්චබන්‍ධුං ‘ආදිච්ච’ යි හිරු කියනු ලැබෙයි, හිරු ගෝත්‍රයෙන් ගෞතම යැ. භගවත්හු ද ගෝත්‍රයෙන් ගෞතම යැ. බුදුහු හිරුට ගෝත්‍රයෙන් ඥාතීහ, ගෝත්‍රයෙන් බන්‍ධු වූහ. එහෙයින් බුදුහු ආදිත්‍යබන්‍ධු වූහ’ යි ‘පුච්ඡාමි තං ආදිච්චබන්‍ධුං’ යනු වේ.
විවේකං සන්තිපදං ච මහෙසිං - ‘විවේකො’ යනු: විවේක තුනෙකි: කාය විවේක යැ, චිත්තවිවේක යැ, උපධිවිවේක යැයි.
කායවිවේකය කවරේ ද යත්: මේ ශාසනයෙහි මහණ ආරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කන්‍දර යැ ගිරිගුහා යැ ශමශාන යැ වානප්‍රස්ථ යැ අභ්‍යවකාශ යැ පලාලපුඤ්ජ යැ යන විවේක සෙනාසනයක් ඇසුරු කෙරෙයි, කයිනු දු විවික්ත වැ වෙසෙයි. හෙතෙම එකලා වැ යෙයි, එකලා වැ සිටියි, එකලා වැ හිඳී, එකලා වැ හොවී, එකලා වැ ගමට පිඬුපසිඟා යයි, එකලා වැ පෙරළා එයි, එකලා වැ රහසැ හිඳී, එකලා වැ සක්මන් කෙරෙයි, එකලා වැ හැසිරෙයි වෙසෙයි ඉරියව් පවත්වයි වැටෙයි රැකෙයි යැපෙයි යාපනය වේ. මේ කායවිවේක යැ.