14. 20.
රූපාදිය අභිභවනය කළා වූ ඒ බුදුහු (කෙලෙසුන් විසින්) නො මැඩුණේ ‘මෙසේ වී ලැ’ යි නො තකන ලද ආත්මප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය යම් හෙයකින් දුටු සේක් ද, එහෙයින් මැ ඒ භාග්‍යවත්හුගේ ශාසනයෙහි නො පමා වූයේ සියලු කල්හි (ඒ බුදුනට තිදොරින්) නමස්කාර කෙරෙමින් (ත්‍රිවිධ ශික්‍ෂායෙහි) හික්මෙන්නේ යැයි (බුදුහු වදාළ සේකි.)
අභිභු හි සො අනභිභූතො - ‘අභිභූ’ යනු: රූපයන් අභිභවනය කෙළේ ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මයන් අභිභවනය කෙළේ, කිසි කෙලෙස් කෙනකුන් විසින් අනභිභූත වූයේ (- නො මැඩුණේ) ක්ලෙශප්‍රත්‍යය වූ පුනර්‍භවය දෙන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක වු මත්තෙහි ජාතිජරාමරණයට කාරණ වූ ඒ හීන වූ ලාමක වූ අකුශලධර්‍මයන් අභිභවනය කෙළේ නුයි ‘අභිභු හි සො අනභිභූතො’ යනු වේ.
සක්ඛිධම්මමනිතීහමදස්සී - ‘සක්ඛිධම්මං’ යනු : ‘මෙසේ මෙසේ වීලැ’ යි නො වැ, මේ ‘මෙසේ ලැ’ යි නො වැ, පරම්පරාකථාවෙන් නො වැ, පිටකසම්පදායෙන් නො වැ, තර්‍කහේතුවෙන් නො වැ, න්‍යායහේතුවෙන් නො වැ, (මේ මැනැවැයි) ආකාර සැලැකීමෙන් නො වැ, අප විසින් විමසා ගන්නා ලද දෘෂ්ටිය හා සම යයි නොවැ, තුමූ මැ තමන් විසින් අවබෝධ කළ තම හට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය දුටුවහ, දර්‍ශනය කළහ, අවලෝකනය කළහ, ප්‍රතිවේධ කළහ’ යි ‘සක්ඛිධම්මමනිතීහමදස්සී’ යනු වේ.
තස්මා හි තස්ස භගවතො සාසනෙ - ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන්; තස්ස භගවතො සාසනෙ - ඒ භාග්‍යවත්හුගේ ශාසනයෙහි ගෞතමශාසනයෙහි බුද්ධශාසනයෙහි ජිනශාසනයෙහි තථාගතශාසනයෙහි දේවදේවයන්ගේ ශාසනයෙහි අර්‍හත්ශාසනයෙහි නුයි ‘තස්මා හි තස්ස භගවතො සාසනෙ’ යනු වේ.
අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙති භගවා - ‘අප්පමත්තො’ යනු: සකස් කොට කරන සුලු වූයේ … කුශලධර්‍මයන්හි අප්‍රමාද වූයේ, සදා යනු: සැමදා සියලුදා සියලු කල … පශ්චිම වයස් කොටසෙහි; නමස්සං යනු: කයින් හෝ නමස්කාර කරනුයේ චවනයෙන් හෝ නමස්කාර කරනුයේ සිතින් හෝ නමස්කාර කරනුයේ අර්ත්‍ථානුගතප්‍රතිපත්තියෙන් හෝ නමස්කාර කරනුයේ ධර්‍මානුධර්‍ම (- නවලොවුතුරු දහම් හා විදසුන් ඈ) ප්‍රතිපත්තියෙන් නමස්කාර කරනුයේ සත්කාර කරනුයේ ගරු කරනුයේ බුහුමන් කරනුයේ පුදනුයේ අපචායන කරනුයේ. අනුසික්ඛෙ - ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා අධිචිත්තශික්‍ෂා අධිප්‍රඥාශික්‍ෂා … මෝ අධිප්‍රඥාශික්‍ෂා යි: මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේ යැ … ප්‍රත්‍යක්‍ෂ කළ යුතු නිවන ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ මැනැවින් හැසිරෙන්නේ යැ සමාදන් වැ පවත්නේ යි. භගවා යනු: ගෞරවාධිවචන යැ … මේ ‘භගවා’ යනු: අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් හෝ සර්‍වධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකැ’ යි ‘අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙ’ති භගවා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
”අභිභු හි සො අනභිභූතො -පෙ- සදා නමස්සමනුසික්ඛෙති භගවා” යී
තුදුස්වැනි තුවටක සූත්‍ර නිර්‍දෙශය සමාප්ත යී.