14. 2.
බුදුහු මෙසේ වදාළ සේක: ‘ප්‍රපඤ්ච සඞ්ඛ්‍යාත තෘෂ්ණාදෘෂ්ටිහුගේ (අවිද්‍යාදි ක්ලේශ) මූලය ද මම් වෙමි’ පැවැති මානය ද නුවණින් සියල්ල වළහන්නේ යැ, අධ්‍යාත්මයෙහි යම් කිසි තෘෂ්ණාවක් උපදනේ ද ඔවුන්ගේ ප්‍රහාණය පිණිස හැමකල්හි (එළඹ සිටි) සිහි ඇති වැ හික්මෙන්නේ යි.
මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්‍ධෙ - ප්‍රපඤ්චයෝ මැ ‘පපඤ්චසඞ්ඛා’ නම, තෘෂ්ණාව ‘පපඤ්චසඞ්ඛා’ යැ, දෘෂ්ටිය පපඤ්චසඞ්ඛා යැ, තෘෂ්ණාප්‍රපඤ්චයා ගේ මූලය කවරැ යත්? අවිද්‍යාව මූල යැ, අයෝනිසෝ මනසිකාරය මූල යැ, අස්මිමානය මූල යැ, අහිරිකය මූල යැ, අනොත්තප්පය මූල යැ, උද්ධච්චය මූල යැ; මේ තෘෂ්ණාප්‍රපඤ්චයාගේ මූලය යි. දෘෂ්ටිප්‍රපඤ්චයාගේ මූලය කවරැ යත්? අවිද්‍යාව මූල යැ, අයෝනිසෝ මනසිකාරය මූල යැ, අස්මිමානය මූල යැ, අහිරිකය මූල යැ, අනොත්තප්පය මූල යැ, උද්ධච්චය මූල යැ, මේ දෘෂ්ටිප්‍රපඤ්චයාගේ මූලය යි.
භගවා යනු : ගෞරව නාමයෙකි; තවද බිඳහළ රාග ඇත් නුයි භගවත් යැ, නැසූ ද්වේෂ ඇත් නුයි - නැසූ මෝහ ඇත් නුයි - නැසූ මාන ඇත් නුයි - නැසූ දෘෂ්ටි ඇත් නුයි - නැසූ කෙලෙස්කටු ඇත් නුයි - නැසූ කෙලෙස් ඇත් නුයි භගවත් යැ. දහම්රුවන් භාග - විභාග - ප්‍රතිවිභාග කෙළේ නුයි භගවත් යැ භවයන් අන්ත කෙළේ නුයි - භාවිතකාය නුයි - භාවිතශීල - භාවිතචිත්ත - භාවිතප්‍රඥා ඇත් නුයි භගවත් යැ: නොහොත් බුදුහු අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ ජනවාත රහිත වූ මනුෂ්‍යයන්ගේ රාහස්‍යයට කාරණ වූ විවේකයට යෝග්‍ය වූ වනසෙනසුන් වෙනෙහි දුර සෙනසුන් වනකෙළවර සෙනසුන් භජනය කළාහු නුයි භගවත් යැ, බුදුහු චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චයභෙසජ්ජ - පරික්ඛාරයනට හිමි වූවාහු නුයි භගවත් යැ, බුදුහු අර්‍තථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි භගවත් යැ, බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු අෂ්ටවිමොක්‍ෂයන්ට අෂ්ට අභිභායතනයන්ට නව අනුරූපවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි - බුදුහු දශ සංඥාභාවනාවන්ට දසකසිණසමාපත්තීන්ට අනාපානසතිසමාධියට අසුභසමාපත්තියට හිමි වූවාහු නුයි - බුදුහු සතර සතිපට්ඨානයන්ට සතර සම්‍යක්ප්‍රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්චේන්‍ද්‍රියයන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයට හිමි වූවාහු නුයි - බුදුහු දස තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට සතර ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩභිඥාවන් ෂඩ්බුද්ධධර්‍මයන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ නමි. තෙල ‘භගවත්’ යන නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් - බෑයකු විසින් - බූනක විසින් - සගයහළුවන් විසින් - නෑසහලේනෑයන් විසින් - මහණබමුණන් විසින් - දේවතාවන් විසින් නො කරන ලද, මේ ‘භගවත්’ යන තෙල නාමය භාග්‍යවත් බුදුවරයන්ට අර්‍හන්මාර්‍ගයාගේ අන්තයෙහි බෝමුල දී සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමග රහත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් හෝ සර්‍වධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්ත්තියක් වී නුයි - ‘මූලං පපඤ්චසඞ්ඛායා ති භගවා’ යනු වේ.
මන්තා අස්මීති සබ්බමුපරුන්‍ධෙ - ‘මන්තා’ යී ප්‍රඥාව කියනු ලබයි; යම් ප්‍රඥාවක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. අස්මි යනු රූපයෙහි මම් වෙමි යන මානය මම් වෙමි යන ඡන්‍දය, මම් වෙමි යන අනුසය, වේදනායෙහි - සංඥායෙහි - සංස්කාරයන්හි - විඥානයෙහි අස්මි යන මානය අස්මි යන ඡන්‍දය, අස්මි යන අනුසය නුයි ‘මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති’ යනු වේ.