14. 17.
සම්‍යක් ප්‍රඥා ඇති මහණ තෙම මුසවා බිණීමෙහි නො යෙදෙන්නේ යැ කපටිකම් නො කරන්නේ යැ. යළි දිවි පැවැත්මෙන් ප්‍රඥාවෙන් හා ශීලව්‍රතයෙන් අන්‍යයන් ඉක්මවා නො සිතන්නේ යි.
මොසවජ්ජෙ න නිය්‍යෙථ - ‘මොසවජ්ජ’ යී මෘෂාවාදය කියනු ලැබෙයි. මෙහි කිසිවෙක් සභාවට ගියේ හෝ පිරිස් වෙත ගියේ හෝ … අල්පමාත්‍ර ලාභයක් හේතු කොට හෝ දැනැ දනැ බොරු කියන්නේ වෙයි. මේ ‘මොසවජ්ජ’යී කියනු ලැබේ. තවද තුන් අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට ‘මෘෂා කියන්නෙමී’ සිත වෙයි, කියන්නහුට ‘මෘෂා කියමී’ සිත වෙයි, කීවහුට ‘මා විසින් මෘෂා කියන ලදැ’ යි සිත වේ යයි. මේ තුන් අයුරෙන් මෘෂාවාදය වේ. තවද සතර අයුරෙකින් - පස් අයුරෙකින් - ෂඩාකාරයෙකින් -සත් අයුරෙකින් - අට අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට ‘මුසවා කියන්නෙමි’ සිත වෙයි. කියන්නහුට ‘මුසවා කියමි’ සිත වෙයි. කීවහුට ‘මා විසින් මුසවා කියන ලදැ’ යි සිත වෙයි. ලබ්ධිය සඟවා, කැමැත්ත සඟවා, රුචිය සඟවා, සංඥාව සඟවා, භාවය සඟවා; මේ අෂ්ටාකාරයෙන් මෘෂාවාදය වේ.
මොසවජ්ජෙ න නිය්‍යෙථ - මෘෂාවාදයෙහි නො යවනු ලබන්නේ යැ නො කියනු ලබන්නේ යැ නො වහනු ලබන්නේ යැ නො හරිනු ලබන්නේ යැ මෘෂාවාදය හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ, මෘෂාවාදයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ බැහැර වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වෙසෙන්නේ නුයි ‘මොසවජ්ජෙ න නිය්‍යෙථ’ යනු වේ.
සම්පජානෝ සඨානි න කයිරා - ‘සාඨෙය්‍ය’ කවරැ යත්: මෙහි කිසිවෙක් ශඨ වූයේ හාත්පසින් ශඨ වූයේ වෙයි. එහි යම් (අසද්ගුණ දක්වන) කෛරාටික බවෙක් ශඨබවෙක් ශඨ්‍යයෙක් කර්‍කශබවෙක් ඉතා කර්‍කශ බවෙක් දැඩි කර්‍කශ බවෙක් ඉතා දැඩි කර්‍කශ බවෙක් වේ ද, මේ ‘සාඨෙය්‍ය’ යී කියනු ලැබෙයි.
සම්පජානෝ සඨානි න කයිරා - දැනගෙන් ශඨබව නො කරන්නේ යැ නො දනවන්නේ යැ නූපදවන්නේ යැ වෙසෙසින් නූපදවන්නේ යැ ශාඨ්‍යය හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ; ශාඨ්‍යයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ පහවැගියේ විප්‍රමුක්ත විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘සම්පජානෝ සඨානි න කයිරා’ යනු වේ.
අථ ජීවිතෙන පඤ්‍ඤාය සීලබ්බතෙන නාඤ්‍ඤමතිමඤ්ඤෙ - ‘අථ’ යනු පදසන්‍ධි යැ … පදානුපූර්‍වතා යැ තෙල ‘අථ’ යනු. මෙහි කිසිවෙක් රූක්‍ෂ ජීවිකාවෙන් ජීවත්වනුයේ මෙරමා ප්‍රණීතජිවිකාවෙන් ජීවත්වන්නහුට අවමන් කෙරෙයි: ‘මේ කවරෙක් ද? බහුලාජීව ඇතියේ සියල්ල කාදමයි. ඒ මෙසේයැ: මූලබීජ යැ ස්කන්‍ධබීජ යැ පර්‍වබීජ යැ අග්‍රබීජ යැ බීජබීජය මැ පස්වැනි වෙයි. මොහුගේ දත්කුළ සෙනවළල්ලෙකි. එහෙත් ප්‍රවාදයෙන් ශ්‍රමණ ය’ යි. හෙතෙම ඒ රූක්‍ෂජීවිකාව හේතු කොට ගෙන ප්‍රණීතජීවිකාවෙන් ජීවත්වන මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් ප්‍රණීතජීවිකාවෙන් ජීවත්වනුයේ රළුදිවියෙන් ජීවත්වන මෙරමා ඉක්මවා සිතයි: ‘මේ කවරෙක් ද? මදපිනැත්තෙක අල්පයශස්කයෙක චීවරපිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙසත්පිරිකර නො ලබන සුල්ලෙකැ යි. හෙතෙම ඒ ප්‍රණීතජීවිකාව හේතු කොටගෙන රළුදිවියෙන් ජීවත්වන මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් නුවණැත්තේ වෙයි. හෙතෙම විචාරන ලදුයේ පැන විසඳයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මම් ප්‍රඥාසම්පන්නයෙම් වෙමි. මේ අන්‍යයෝ වැලිත් ප්‍රඥාසම්පන්නයෝ නො වෙති’ යි. හේ ඒ ප්‍රඥාසම්පත්තියෙන් මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් ශීලසම්පන්න වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ ආචාරගෝචර දෙකින් යුක්ත වූයේ අණුමාත්‍ර දෝෂයෙහි භයදක්නා සුලු වැ වෙසෙයි. ශික්‍ෂාකොට්ඨාසයන් සමාදන් වැ හික්මෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මම් ශීලසම්පන්නයෙම් වෙමි. මේ අන්‍යයෝ දුශ්ශීලයෝ යැ, පාපධර්‍ම ඇත්තාහ’ යි. හේ ඒ ශීලසම්පත්තියෙන් මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් ව්‍රතසම්පන්න වෙයි: ආරණ්‍යක හෝ පිණ්ඩපාතික හෝ පාංශුකූලික හෝ තෙචීවරික හෝ සපදානචාරික හෝ බලුපච්ඡාභත්තික හෝ නෙසජ්ජික හෝ යථාසන්‍ථතික හෝ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම් ව්‍රතසම්පන්නයෙම් වෙමි, මේ අන්‍යයෝ ව්‍රතසම්පන්නයෝ නො වෙතී’ යි. හේ ඒ ව්‍රතසම්පත්තියෙන් මෙරමා ඉක්මවා සිතයි.