14. 14.
මහණ තෙම නින්දාවචනයෙන් නො කම්පා වන්නේ යැ. පසස්නා ලදුයේ උඩඟු නො වන්නේ යැ. මාත්සර්‍ය්‍ය සමග ලෝභය ක්‍රෝධය හා පෛශුන්‍යය ද දුරු කරන්නේ යි.
නින්දාය නප්පවෙධෙය්‍ය - මෙහි ඇතැම් කෙනෙක් මහණ හට නින්‍දා කෙරෙති; ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙන් හෝ ශිල්පයෙන් හෝ විද්‍යාවෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් හෝ නින්‍දා කෙරෙති, ගරහති නුගුණ කියත්. නිගා කරන ලදුයේ ගරහන ලදුයේ නුගුණ කියන ලදුයේ නින්දාවෙන් ගර්‍හාවෙන් උපවාදයෙන් අකීර්ත්තියෙන් නුගුණ එළැවීමෙන් කම්පා නො වන්නේ යැ , ප්‍රකම්පා නො වන්නේ යැ, පුනපුනා කම්පා නො වන්නේ යැ, ත්‍රස්ත - උත්ත්‍රස්ත - පරිත්‍රස්ත නො වන්නේ යැ භය නො වන්නේ යැ, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ යැ. නො බියසුලු වූයේ නො සැලෙනසුලු වූයේ නො තැතිගන්නාසුලු වූයේ නො පලායන සුලු වූයේ වන්නේ යැ. ප්‍රහීණ වූ භය අරමුණු ඇතියේ පහ වූ ලොමුදහ ඇතියේ වාසය කරන්නේ නුයි ‘නින්දාය නප්පවධෙය්‍ය’ යනු වේ.
න උන්නමෙය්‍ය පසංසිතො භික්ඛු - මෙහි ඇතැම් කෙනෙක් මහණ හට ප්‍රශංසා කෙරෙති: ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙන් හෝ ශිල්පයෙන් හෝ විද්‍යාවෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර කාරණයෙකින් හෝ පසසති, තුති කෙරෙති, ප්‍රකට කෙරෙති, ගුණ කියත්. ප්‍රශංසිත - ස්තුත - කිර්‍තතිත - වර්ණණිත වූයේ ප්‍රශංසායෙන් ස්තුතියෙන් කීර්‍තතියෙන් ගුණ ප්‍රකාශ කිරීමෙන් උන්නතිය නො කරන්නේ යැ, උන්නාමය නො කරන්නේ යැ, මානය නො කරන්නේ යැ, ස්තම්භය නො කරන්නේ යැ, එයින් මානය නූපදවන්නේ යැ. එයින් තද වූයේ අතිශයින් තද වූයේ නැඟු හිස ඇත්තේ නො වන්නේ ය යි - ‘න උන්නමෙය්‍ය පසංසිතො භික්ඛු’ යනු වේ.
ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්‍ච පනුදෙය්‍ය - ලෝභ නම්: යම් ලොභයෙක් ලෝභාකාරයෙක් ලෝභ කළ බවෙක් අධිකාරාගයෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. මච්ඡරිය නම් - මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාසමාත්සර්‍ය්‍යය … ග්‍රාහයමාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ. කෝධ නම්: චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් සම්ප්‍රද්වෙෂයෙක් වේ ද, සිත පෙරළුණු බවෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් ක්‍රෝධාකාරයෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් විපර්‍ය්‍යාසයෙක් විපර්‍ය්‍යාසකාරයෙක් විපර්‍ය්‍යස්ත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඩ බවෙක් නො පිරුණු වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද එය යි.
පෙසුනියං යනු මෙහි කිසිවෙක් පිසුනුබස් ඇතියේ වෙයි: මෙතැනින් අසා මොවුන්ගේ බිඳීමට එතැන කියන්නේ වෙයි, එතැන හෝ අසා අරුන්ගේ බිඳීමට මුන්ට කියන්නේ වෙයි. මෙසේ සමග වූවන් හෝ බිඳිනුයේ භින්න වූවන් හෝ සන්‍ධානය නො කරනුයේ වර්‍ග වීමෙහි සතුටු වූයේ වර්‍ග වීමෙහි ඇලුණේ වර්‍ගයෙහි සතුටු වූයේ වර්‍ග කරන බස් කියන්නේ වෙයි. එහෙයින් පෛශුන්‍ය යැයි කියනු ලැබේ. තවද දෙකරුණෙකින් පිසුනු එළවා කියයි: ප්‍රියකාම්‍යතායෙන් හෝ භෙදාධිප්‍රායෙන් හෝ යැ. කිසෙයින් ප්‍රියකාම්‍යතායෙන් පිසුනු කියා ද යත්: ‘මොහුට ප්‍රිය වූයෙම් වන්නෙමි, මනාප වූයෙම් වන්නෙමි, විස්වැසියෙම් වන්නෙමි, ආභ්‍යන්තරිකයෙම් වන්නෙමි, සුහෘද් වන්නෙමි, මෙ සෙයින් ප්‍රියකාම්‍යතායෙන් පිසුනු කියයි. කිසෙයින් භෙදාධිප්‍රායෙන් පිසුනු කියා ද යත්: ‘කෙසේ නම් මොහු වෙන් වන්නාහු ද, වර්‍ග වන්නාහු ද, දෙ කොටස් වන්නාහු ද, දෙ කඩ වන්නාහු ද, දෙ පක්‍ෂ වන්නාහු ද, බිඳෙන්නාහු ද, නො සමග වන්නාහු ද, දුකසේ නො සුවසේ වසන්නාහු දැ’ යි මෙසේ බිඳෙන අදහසින් පෙහෙසුන් බස් කියයි. ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්‍ච පනුදෙය්‍ය - ලෝභය ද මාත්සර්‍ය්‍යය ද ක්‍රෝධය ද පෛශුන්‍යය ද දුරු කරන්නේ යැ වෙසෙසින් දුරු කරන්නේ යැ හරණේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ ය යි ‘ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නින්දාය නප්පවෙධෙය්‍ය -පෙ- කොධං පෙසුනියඤ්ච පනුදෙය්‍ය” යී.
14. 15.
මහණ තෙමේ ක්‍රයවික්‍රෙයයෙහි නො පිහිටන්නේ යැ. (ඇතුළතැ පිටතැ) කිසි තැනෙක්හි (අනුන් ලවා) උපවාද නො කරවන්නේ යැ. ගම්හි දු නො ඇලෙන්නේ යැ ලාභහේතුයෙන් ජනයාට ලපනය නො කරන්නේ යි.
කයවික්කයෙ න තිට්ඨෙය්‍ය - යම් ක්‍රයවික්‍රෙය කෙනෙක් විනයෙහි ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු නම්, ඔහු මේ අර්‍තථයෙහි අදහස් නො කරන ලදහ. කිසෙයින් ක්‍රයවික්‍රෙයයෙහි සිටී ද යත්: පස් සහධැමියන් සමග පාත්‍රයක් හෝ සිවුරක් හෝ අන් කිසි පිරිකරක් හෝ වඤ්ච කෙරෙමින් හෝ උදය (-වැඩියක්) පතමින් හෝ පරිවර්‍තන කෙරේ නම්, මෙසේ ක්‍රයවික්‍රෙයයෙහි සිටී. කිසෙයින් ක්‍රයවික්‍රෙයයෙහි නොසිටී ද යත්: පස් සහධැමියන් සමග පාත්‍රයක් හෝ සිවුරක් හෝ අන් කිසි පිරිකරක් හෝ වඤ්ච නො කෙරෙමින් හෝ උදය නො පතමින් හෝ පරිවර්‍තන කෙරේ නම්, මෙසේ ක්‍රයවික්‍රෙයයෙහි නො සිටී. කයවික්කයෙ න තිට්ඨෙය්‍ය - ක්‍රයවික්‍රෙයයෙහි නො සිටින්නේ යැ, නො පවත්නේ යැ, ක්‍රයවික්‍රෙය (-ගනුදෙනු) හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ. ක්‍රයවික්‍රෙයයෙන් දුරු වූයේ වෙසෙසින් දුරු වූයේ හාත්පසින් දුරු වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වසන්නේ නුයි ‘කයවික්කයෙ න තිට්ඨෙය්‍ය’ යනු වේ.