14. 15.
මහණ තෙමේ ක්‍රයවික්‍රෙයයෙහි නො පිහිටන්නේ යැ. (ඇතුළතැ පිටතැ) කිසි තැනෙක්හි (අනුන් ලවා) උපවාද නො කරවන්නේ යැ. ගම්හි දු නො ඇලෙන්නේ යැ ලාභහේතුයෙන් ජනයාට ලපනය නො කරන්නේ යි.
කයවික්කයෙ න තිට්ඨෙය්‍ය - යම් ක්‍රයවික්‍රෙය කෙනෙක් විනයෙහි ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු නම්, ඔහු මේ අර්‍තථයෙහි අදහස් නො කරන ලදහ. කිසෙයින් ක්‍රයවික්‍රෙයයෙහි සිටී ද යත්: පස් සහධැමියන් සමග පාත්‍රයක් හෝ සිවුරක් හෝ අන් කිසි පිරිකරක් හෝ වඤ්ච කෙරෙමින් හෝ උදය (-වැඩියක්) පතමින් හෝ පරිවර්‍තන කෙරේ නම්, මෙසේ ක්‍රයවික්‍රෙයයෙහි සිටී. කිසෙයින් ක්‍රයවික්‍රෙයයෙහි නොසිටී ද යත්: පස් සහධැමියන් සමග පාත්‍රයක් හෝ සිවුරක් හෝ අන් කිසි පිරිකරක් හෝ වඤ්ච නො කෙරෙමින් හෝ උදය නො පතමින් හෝ පරිවර්‍තන කෙරේ නම්, මෙසේ ක්‍රයවික්‍රෙයයෙහි නො සිටී. කයවික්කයෙ න තිට්ඨෙය්‍ය - ක්‍රයවික්‍රෙයයෙහි නො සිටින්නේ යැ, නො පවත්නේ යැ, ක්‍රයවික්‍රෙය (-ගනුදෙනු) හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ. ක්‍රයවික්‍රෙයයෙන් දුරු වූයේ වෙසෙසින් දුරු වූයේ හාත්පසින් දුරු වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වසන්නේ නුයි ‘කයවික්කයෙ න තිට්ඨෙය්‍ය’ යනු වේ.
උපවාදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි - උපවාදකර ක්ලේශයෝ කවරහු ද යත්: ඍද්ධිමත් වූ දිවැස් ඇති පරසිත් දන්නා ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත්තාහු ය, ඔහු දුර සිටියාහු ද දකිති. ළං වූවාහු ද නො පැනෙති. තමන්ගේ සිතින් අනුන්ගේ සිත දැන ගනිත්. ඍද්ධිමත් වූ දිවැස් ඇති පරසිත් දන්නා වූ දේවතාවෝ ද ඇත්තාහු යැ. ඔහු දුර සිට ද දකිති. සමීප වූවාහු ද නො පැනෙති. තම සිතින් මෙරමා සිත ද දැන ගනිත්. ඔහු (කායදුශ්චරිතාදි) ඖදාරික ක්ලේශයන්ගෙන් හෝ (කාමවිතර්‍කාදි) මධ්‍යම ක්ලේශයන්ගෙන් හෝ (ඥාතිවිතර්‍කාදි) සූක්‍ෂම ක්ලේශයන්ගෙන් හෝ උපවාද කරන්නාහු ය. ඖදාරික ක්ලේශයෝ කවරහු ද යත්: කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යන මොහු ඖදාරික ක්ලේශයෝ’ යි කියනු ලැබෙත්. මධ්‍යම ක්ලේශයෝ කවරහු ද යත්: කාමවිතර්‍ක යැ ව්‍යාපාදවිතර්‍ක යැ විහිංසාවිතර්‍ක යැ යන මොහු මධ්‍යම ක්ලේශයෝ යි කියනු ලැබෙත්. සූක්‍ෂම ක්ලේශයෝ කවරහු ද යත්: ඥාතිවිතර්‍ක යැ ජනපදවිතර්‍ක යැ අමරවිතර්‍ක යැ පරානුද්දයතාප්‍රතිසංයුක්ත වූ විතර්‍ක යැ ලාභසත්කාරකීර්‍තති ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක යැ අනවඥාත බව ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක යැ යන මොහු සූක්‍ෂමක්ලෙශයෝ යි කියනු ලැබෙත්. ඒ ඖදාරික ක්ලේශයන්ගෙන් හෝ මධ්‍යම ක්ලේශයන්ගෙන් හෝ සූක්‍ෂම ක්ලේශයන්ගෙන් හෝ ’න උපවදෙය්‍ය, උපවාද නො කරන්නේ යැ, උපවාදකර ක්ලේශයන් නො කරන්නේ යැ, නො දනවන්නේ යැ, නූපදවන්නේ යැ, නො නිපදවන්නේ යැ, නො පහළ කරන්නේ යැ. උපවාදකර ක්ලේශයන් හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ. උපවාදකර ක්ලේශයන්ගෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ යි. කුහිඤ්චි යනු: අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ කොහි කිසිවෙක්හි කොතැනෙක්හි නුයි ‘උපවාදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි’ යනු වේ.
ගාමෙ ච නාභිසජ්ජෙය්‍ය - කිසෙයින් ගම්හි ඇලෙයි යත්: මෙහි මහණ තෙම ගම්හි ගිහින් සමග සංසෘෂ්ට වැ වෙසෙයි, සමග සතුටු වනුයේ සමග ශෝක ඇතියේ (ඔවුන්) සුඛිත කල්හි සුඛිත වූයේ දුඃඛිත කල්හි දුඃඛිත වූයේ වෙයි. උපන් කළයුතු කිස ඇති කල්හි තමා උපයොගයට (කිස කළ යුතු බවට) පැමිණෙයි. මෙසේත් ගම්හි ඇලෙයි. නොහොත් මහණ තෙම පෙරවරුයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන නො රක්නා ලද කයින් නො රක්නා ලද වචනයෙන් නො රක්නා ලද සිතින් යුක්ත වැ නො එළැඹ සිටි සිහියෙන් අසංවර වූ ඉඳුරන්ගෙන් යුක්ත වැ ගමට හෝ නියම්ගමට හෝ පිඬු සිඟා යෙයි. හෙතෙම ඒ ඒ අරමුණෙහි ඇලෙයි. ඒ ඒ අරමුණට පිවිසෙයි, ඒ ඒ අරමුණෙහි බැඳෙයි. ඒ ඒ අරමුණෙහි අනයව්‍යසනයට පැමිණේ. මෙසේත් ගම්හි ඇලෙයි.