14. 13.
බුද්ධාදි මාමක වූ මහණ තෙමේ අථර්‍වණමන්ත්‍ර ප්‍රයෝගය ද ස්වප්න ශාස්ත්‍රය ද (මණිලක්‍ෂණාදි) ලක්‍ෂණශාස්ත්‍රය ද යළි නකත් කීම ද නො කරන්නේ යැ. විරුත (මෘගවාක්‍ය) ශාස්ත්‍රය ද ගබ් ගැන්වීම ද චිකිත්සාව ද නො සෙවුනේ යි.
ආථබ්බණං සුපිනං ලක්ඛණං නො විදහෙ අථො’ පි නක්ඛත්තං - අථර්‍වණ (මෙරමා නසන) මන්ත්‍ර දන්නාහු අතර්‍වණමන්ත්‍ර (සූනියම්) කෙරෙති, නුවර ඇවුරූ කල හෝ යුද පැමිණි කල හෝ සතුරු සේනාවෙහි විරුද්ධ වූ සතුරන් කෙරෙහි ශරීරකම්පා උපදවති, උවදුරු උපදවති, රෝග උපදවති, ජ්වර උපදවති, ආමශූල (හෝ ඉදිමුම්) උපදවති, පාචන උපදවති, රක්තාතීසාර කෙරෙත්. මෙසේ ආතර්‍වණිකයෝ අථර්‍වණමන්ත්‍ර යොදත්.
ස්වප්නපාඨකයෝ සිහින පවසති: ‘යමෙක් පෙරවරුයෙහි සිහින දකී නම් මෙබඳු විපාක වෙයි, යමෙක් මධ්‍යාහ්නයෙහි සිහින දකී නම්, මෙසේ විපාක වෙයි, යමෙක් සවස් කලැ සිහින දකී නම්, මෙසේ විපාක වෙයි, යමෙක් පෙරයමැ … මැදියමැ … අලුයමැ … යමෙක් දකුණැලයෙන් හෝනේ … යමෙක් වමැලයෙන් හෝනේ … යමෙක් උඩුබැලි වැ හෝනේ … යමෙක් යටිහුරු වැ හෝනේ … යමෙක් චන්‍ද්‍රයා දකී නම් යමෙක් සූර්‍ය්‍යයා දකී නම් යමෙක් මහමුහුද දකී නම් යමෙක් මහමෙර දකී නම් යමෙක් ඇතකු දකී නම් යමෙක් අසකු දකී නම් යමෙක් රිය දකී නම් යමෙක් පාබළ දකී නම් යමෙක් කඳවුරු දකී නම් යමෙක් රමණී අරම් දකී නම් යමෙක් රමණී උයන් දකී නම් යමෙක් රමණී බිම් පෙදෙස් දකී නම් යමෙක් රමණී පොකුණු දකී නම්, මෙසේ විපාක වේ යැ’ යි මේ පරිද්දෙන් ස්වප්නපාඨකයෝ සිහින ප්‍රකාශ කෙරෙත්.
ලක්‍ෂණපාඨකයෝ ලක්‍ෂණ ප්‍රකාශ කෙරෙති: ‘මණිලක්‍ෂණය දණ්ඩලක්‍ෂණය වස්ත්‍රලක්‍ෂණය ඛඞ්ගලක්‍ෂණය හී ලකුණ දුනු ලකුණ අවි ලකුණ ස්ත්‍රීලක්‍ෂණ පුරුෂලක්‍ෂණ කුමාරිකාලක්‍ෂණ කුමාරලක්‍ෂණ දැසිලකුණ දස්ලකුණ ඇත්ලකුණ අස්ලකුණ මිහිලකුණ වැහැබ්ලකුණ ගවලකුණ බැටෙළුලකුණ එළුලකුණ කුකුළුලකුණ වටුලකුණ ගොය්ලකුණ කණ්ණිකාලක්‍ෂණ කච්ඡපලක්‍ෂණ මෘගලක්‍ෂණ යනාදිය’ යි මෙසේ ලක්‍ෂණ පාඨකයෝ ලක්‍ෂණ ප්‍රකාශ කෙරෙත්.
නක්‍ෂත්‍රපාඨකයෝ නකත් පවසති: නකත් අටවිස්සෙකි; මේ නකතින් ගෙවැදි යැ යුත්තේ යැ මේ නකතින් මුහුළු බැන්ද යුතු යැ, මේ නකතින් ආවාහවිවාහ කරැවියැ යුතු යැ, මේ නකතින් බිජු (කොටුවින්) අළ යුතු යැ, මේ නකතින් සංවාසයට යා යුතු යැ’ යි මෙසේ නැකැත්තෝ නකත් පවසති.
ආථබ්බණං සුපිනං ලක්ඛණං නො විදහෙ අථො’ පි නක්ඛත්තං - සිහින ද නිමිති ද නො කරන්නේ යැ නො හැසිරෙන්නේ යැ, වෙසෙසින් නො හැසිරෙන්නේ යැ, මොනොවට ගෙන නො පවත්නේ යැ, නොහොත් නො ගන්නේ යැ, නො දරන්නේ යැ, නො විමසන්නේ යැ, නො සලකන්නේ යැ නො යොදන්නේ නුයි ‘ආථබ්බණං සුපිනං ලක්ඛණං නො විදහෙ අථො’ පි නක්ඛත්තං’ යනු වේ.
විරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්‍ය - ‘විරුතං’ යී මෘගවාක්‍යය කියනු ලැබෙයි; මෘගවාක්‍යපාඨකයෝ සතුන්ගේ හඬ දක්වති: ලිහිණින්ගේ හෝ සිවුපාවුන්ගේ හෝ නාදය හැඬීම් දැනගනිති. මෙසේ මෘගවාක්‍යපාඨකයෝ සතුන්ගේ හැඬීම දක්වත්. ගර්‍භසංස්ථාපකයෝ ගැබ් පිහිටුවති; දෙකෙරුණෙකින් ගැබ නො පිහිටයි: පණුවන් හේතු කොට හෝ වාතකොපයන් හේතු කොට හෝ යැ; පණුවන් හෝ වාතකොපයන් හෝ නැසීම පිණිස බෙහෙත් දෙත් නුයි මෙසේ ගර්‍භසංස්ථාපකයෝ ගැබ් පිහිටුවත්. තිකිච්ඡා නම්: චිකිත්සා පසෙකි: ශාලාක්‍ය යැ ශල්‍යකර්‍ම යැ කායචිකිත්සා යැ භූතවිද්‍යා යැ කෞමාරභෘත්‍ය යැයි. මාමකො යනු: බුද්ධ මාමක ධර්‍මමාමක සඞ්ඝමාමක වූයේ, හෙතෙම හෝ බුදුන් මාමයන කෙරෙයි, බුදුහු හෝ ඒ පුද්ගලයා විමසන සේක; මේ වදාරන ලද මැය බුදුන් විසින්: “මහණෙනි, යම් ඒ මහණ කෙනෙක් කුහක වූවාහු තද වූවාහු ප්‍රත්‍යය පිළිබඳ වචන කියන්නාහු සැරසෙන පියවි ඇත්තාහු උපචාර අර්පණාසමාධි රහිත වූවාහු වෙත් ද, මහණෙනි, ඒ භික්‍ෂූහු මට මාමක වූවාහු නො වෙති, තවද මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙන් බැහැර වූවාහු වෙති, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙහි වැඩීමට වැඩුණුබවට විපුල බවට නො ද පැමිණෙත්. තවද මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් කුහක නො වූවාහු ලපක නො වූවාහු ධීර වූවාහු නො තද වූවාහු මොනොවට එකඟ සිත් ඇත්තාහු වෙත් ද, මහණෙනි, ඒ භික්‍ෂූහු මට මාමක වූවාහු වෙති, තවද මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙන් නො බැහැර වූවාහු වෙති, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙහි වෘද්ධියට විරෑඪ බවට විපුල බවට ද පැමිණෙත්.
1. කුහක වූ (ක්‍රෝධ - මාන වශයෙන්) තද වූ (ප්‍රත්‍යය පිළිබඳ කථාවෙන්) උපලාපක වූ (ප්‍රකට) කෙලෙස්සිගු ඇති නැඟුණු මානනළ ඇති චිත්තෛකාග්‍රතා රහිත වූ ඔවුහු සම්මාසම්බුදුන් වදාළ ශාසනධර්‍මයෙහි නො වැඩෙත්.
2. කුහක නො වූ ලපක නො වූ ධීර වූ නො තද වූ සුසමාහිත සිත් ඇති ඔවුහු ඒකාන්තයෙන් සම්මාසම්බුදුන් වදාළ ධර්‍මයෙහි වෙසෙසින් වැඩෙත්” යී.
විරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්‍ය - විරුත ශාස්ත්‍රය ද ගර්‍භසංස්ථාපනය ද චිකිත්සාව ද බුද්ධාදිමාමක වූ මහණ තෙම නො සෙවුනේ යැ, නිසෙවනය නො කරන්නේ යැ, සංසෙවනය නො කරන්නේ යැ, ප්‍රතිසෙනවය නො කරන්නේ යැ, නො හැසිරෙන්නේ යැ, සමාචරණය නො කරන්නේ යැ, සමාදන් වැ නො පවත්නේ යැ; නොහොත් නො ගන්නේ යැ, නුගන්නේ යැ, සිත්හි නො තබන්නේ යැ, නො විමසන්නේ යැ, (අනුනට කීම් වශයෙන්) නො යොදන්නේ යැයි ‘විරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ආථබ්බණං සුපිනං -පෙ- තිකිච්ඡං මාමකො න සෙවෙය්‍ය” යී.